ආදරය කරද්දි සමාව ඉල්ලන එක වැදගත් ඇයි?

· 1 min read
ආදරය කරද්දි සමාව ඉල්ලන එක වැදගත් ඇයි?
Photo by Steve DiMatteo / Unsplash

වැරදි කියන දේවල් හැම ආදර සබඳතාවකම වෙනවා..ඒක සාමාන්‍ය දෙයක්. අපි දැනුවත්ව හරි නොදැනුවත්ව හරි ඔයාගෙ සහකරු හෝ සහකාරියගෙ හිත රිද්දන ඕන දෙයක් ඔයාගෙ අතින් වෙන්න පුළුවන්. හැබැයි වැරැද්දක් වුණාම ඔයා කිසිම පැකිලීමක් නැතුව සමාව ගන්නවද? එහෙමත් නැත්නම් මං වැරැද්දක් කළේ නෑනේ මං සමාව ගන්නෙ මොකටද කියලා හිතාගෙන ඉන්නවද? වැරැද්දක් වුණාම සමාව ගන්න එක ඔයාට සාමාන්‍යයි කියලා දැනුනට ඒක සුළු දෙයක්නෙ කියලා හිතුනට ඒ පොඩි වචනින් ඔයාලගෙ ආදරේ වැඩිවෙන්න හෝ පළුදු වෙන්න ඉඩ තියෙනවා.

ගොඩක් අය හිතන්නෙ සමාව ගන්න එක තමන් විසින් තමන්වම බාල්දු කරගන්නවා කියලා. ඒ නිසා ගොඩක් ආදර සබඳතාවල ගෑනු ළමයා හෝ පිරිමි ළමයා අනිත් කෙනාට "sorry" කියලා කියන්නෙ දක්වන්නෙ මැලිකමක්. මේ නිසා ආදර සබඳතා ඇතුළ ප්‍රශ්න ගොඩ නැගෙන්න පුළුවන්. සාර්ථක ආදර සබඳතාවක් ගොඩනගන්න වගේම සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්නත් සමාව ගන්න එක ඉතාම වැදගත්.

අද අපි කතාකරන්නෙ මේ "sorry" එහෙමත් නැත්නම් "සමාවෙන්න" කියන අකුරු පහ ඇතුළෙ ගැබ් වෙලා තියෙන දේවල් ගැන.

ආදර සබඳතා තුළ සමාව ඉල්ලීමේ කාර්යය

ඔයාගෙ අතින් එයාගෙ හිත රිදවන තරමේ දෙයක් වුනොත් ඒක නැවත නිවැරදි කරන පුලුවන් එකම විදිහ තමයි සමාව ගන්න එක. වැරැද්දක් වුණාම ඒක වෙනස් කරන්න බෑ කියලි අපි හැමෝම දන්නවා. ඒත් අපිට ඒ දේවල් වෙනස් කරන්න බැරි වුණාට සමාව ගැනීම තුළින් ඔයා ආදරය කරන එයාගෙ හිතට දැනුන වේදනාව දුක යම් විදිහකට හරි සමනය කරන්න ඔයාට පුළුවන්.

සමාව ගන්නවා කියන්නෙ ඔයා වැරැද්දක් කලා කියලා පිළිගන්න එකම නෙම්. ඒ ගැන වැරදි වැටහීමක් තියාගන්න එපා. ඔයා සමාව ගන්නෙ එයාගෙ හැගීම් ගැන හිතලා.. ඔයා වරදක් කළත් නොකලත් සමාව ගැනීම තුලින් එයාගෙ හිතේ තියෙන වේදනාව නැති කරන්න පුළුවන්. ඊට පස්සෙ ඔයාට පුළුවන් එයාගෙ හිතේ තියෙන වැරදි වැටහීම නැති කරලා දාන්න. ඒ වෙනුවෙන් පුංචි කැපකිරීමක් කරන්න ඔයාට සිද්ධ වෙනවා. ඒ වගේම සමාව ගන්න එකෙන් ඔයාලා දෙන්නට කතාකරන්න අවස්ථාවක් හදලා දෙනවා කියලා කියන්න පුලුවන්.

ඒ කියන්නෙ උදාහරණයක් විදිහට, එයා හිතනවා ඔයා වැරැද්දක් කළා කියලා, ඒ නිසා ඔයා එයාගෙන් සමාව ගන්නකන් එයා බලන් ඉන්නවා කියලා හිතන්න. ඔයා වැරැද්දක් කළේ නෑනේ කියලා සමාව නොගෙන හිටියොත් සිදු වුන දේ ගැන පැහැදිලි කරන්න ඔයාට අවස්ථාවක් හම්බවෙන්නෙ නෑ. ඔයා සමාව ගත්තොත් එයාට සිදු වුන දේ ගැන පැහැදිලි කරලා එයා තුළ තියෙන වැරදි වැටහීම නැති කරන්න ඔයාට පුළුවන්.

සමහර වෙලාවට සමාව නොගැනීම තුළින් ආදර සබඳතා බිඳ වැටෙන්න වුණත් පුළුවන්. නැති ප්‍රශ්න ඇති වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ ගැන අවධානය යොමු කරන්න.

සමාව ගැනීම මනෝවිද්‍යාත්මකව

සමාව ගැනීමෙන් සමාව අයදින කෙනාටයි සමාව සැබෙන කෙනාටයි දෙන්නාටම මානසික වශයෙන් ප්‍රතිලාභ අත් වෙනවා. සමාව අයදින කෙනාට වරදකාරී හැගීමෙන් මිදෙන්න සමාව ගන්න එක හේතුවක් වෙනවා. සමාව දෙන කෙනාට මානසික සුවයක් ලැබෙන අතරෙම වැරැද්ද වෙනුවෙන් පසුතැවෙන ඔයාගෙ හැඟීම් අවබෝධ කරගැනීමටද හැකියාව ලැබෙනවා. සමාව ඉල්ලීම තුලින් අනවශ්‍ය ආකාරයේ වැරදි වැටහීම් වලින් තොර වූ ශක්තිමත් සබඳතාවක් ගොඩනගාගැනීමට හැකියාව ලැබෙනවා.

සමාව ගන්න මෙච්චර අමාරු ඇයි?

ගොඩක් අය සමාව ගන්න දන්වන්නෙ බොහොම මැලිකමක්. සමාව ගැනීම තුළින් තමන්ගේ ප්‍රතිරූපයට හානි වෙනවා කියලා ගොඩක් අය හිතනවා. සමාව ගැනීම තුලින් තමා දුර්වලයෙක් බව ඔප්පු කරවන බව ඔවුන් සිතනවා. නමුත් මේක එහෙම වෙනවද?. තමා ආදරය කරන කෙනා වෙනුවෙන් සමාව ගන්න පැකිලෙන්නෙ ඇයි.. සමාව ගන්න එකෙන් ගැටුම් ඇතිවීම වළක්වනවා. ඒ වග්ම නොවිසදුන ගැටළු ඔයාලගෙ සබඳතාව ඇතුළෙ ගොඩනැගෙනවා. ඒ නිසා හොද සාර්ථක සබඳතාවක් කරා යන්න නම් සමාව ගන්න ඉගෙන ගන්න එක ඉතාම වැදගත්.

අවංකව සමාව ඉල්ලන්නෙ කොහොමද?

සමාව ගන්නවා කියන්නෙ "මට සමාවෙන්න" කියලා කියන එකට විතරක් නම් නෙමේ. ඇතැම් අය මේ සමාව ඉල්ලීම වචනයකට පමණක් සීමා කරන්න හදනවා. කිසිම භාව ප්‍රකාශනයක් නැතුව ඕනාවට එපාවට සමාව ඉල්ලීම තුළින් කිසිම පලක් වෙන්නෙ නම් නෑ. ඔයාගෙ හිතට එකඟව සමාව ඉල්ලීම තුලින් ඔයා අතින් සිදු වුන වැරැද්ද ගැන ඔයා පසුතැවිලි වෙනවා කියලා ඔයාගෛ සහකරුට/සහකාරියට දැනෙන්න ඕන.

  • වැරැද්ද පිලිගන්න : එයාගෙ හිත රිදවන විදිහෙ වැරැද්දක් වුනානම් ඔයා ඒ ගැන පසුතැවිලි වෙනවා කියලා එයාට කියන්න.
  • ඇත්තම පසුතැවිල්ල ප්‍රකාශ කරන්න : ඔයා "මට සමාවෙන්න" කියලා කියන්නෙ නැතුව මේක මෙහෙම වුණේ මේ දේ නිසා වගේ නිදහසට කරුණු කියන්න යන්න එපා. සිදු වුණ වැරැද්දට ඇත්තටම ඔයා පසුතැවිලි වෙන බව එයාට කියන්න.
  • සංවේගය පලකරන්න : ඔයාගෙ අතින් වුණ වැරැද්දෙන් ඔයාගෙ සහකරු/සහකාරියගෙ හිත රිදුනා කියලා ඔයා දන්න බව එයාට අගවන්න.
  • සිදු වුණ වැරැද්දේ වගකීම ගන්න : ඔයාගෙ අතින් සිද්ද වුණ වැරැද්ද ගැන වගකීම ගන්න. ආයෙත් ඒ වගේ වැරදි නොකරන්න වගබලා ගන්න බව එයාට අගවන්න.
  • සමාව දීමට ඉඩ දෙන්න : ඔයා සමාව ඉල්ලපු ගමන් එයා සමාව දෙන්න ඕන කියලා නීතියක් නැහැ. සමාව දෙන එක එයාගෙ වැඩක්. ඒ නිසා එයාගෙ හැගීම් ගැනත් හිතන්න. ඔයාට සමාව දෙන්න එයාට ටික කාලයක් දෙන්න. ඒ කාලෙ ඔයා කරපු වැරැද්ද ගැන පසුතැවිලි වෙන බව එයාට අගවන්න.

සමාව ඉල්ලන එක වැදගත් ඇයි?

ආදරය කරද්දි ප්‍රශ්න ඇති වෙනවා. ඒක සාමාන්‍යයි. වැරදි වෙන එකත් සාමාන්‍යයි. වෙන වැරද්දකට සමාව ගන්න එක ඔයාලගෙ අනාගතේට වගේම, මානසික සුවයටත් බලපානවා. හිත්වල වෙෙරයක්, තරහක් ඇති නොකර ගැනීමට වගේම විශ්වාසය ඇති කරවන්නත් සමාව ඉල්ලන එක ඉතාම වැදගත්.

සමාව ඉල්ලන එකෙන් ඔයා අතින් වුණ වැරැද්ද එයා සදහටම අමතක කරන්න ඕන කියලා කියවෙන්නෙ නෑ. අමතක කිරීම හෝ නොකිරීම එයාගෙ වැඩක්. ඒත් සමාව ඉල්ලන එකෙන් ඔයා ඒ වැරැද්ද වෙනුවෙන් පසුතැවිලි වෙනවා කියලා එයා දන්නවා. ඒ නිසා දෙදෙනා අතර අනොන්‍ය අවබෝධයක් ඇතිකරගැනීමට එය උපකාරී වෙනවා. සාර්ථක සබඳතාවක් ගොඩනගාගන්නත්, සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්නත් මේ සමාව ගැනීම ඉතාම වැදගත්.

සමාව නොගත්තොත්?

හිතන්න, ඔයාගෙ අතින් වුණ වැරැද්දකට ඔයා එයාගෙන් සමාව ගන්නෙ නැතුව ඉන්නවා කියලා, ඔයා කරපු ඒ වැරැද්ද එයා කවදාවත් අමතක කරන්නෙ නෑ ඒ වගේම එයා හිතනවා ඒ වැරැද්ද ගැන ඔයාගෙ හිතේ කිසිම පසුතැවීමක් නැහැ කියලා. ඉතින් ජීවිත කාලයම මේ ගැන එයා හිතන්න පුළුවන්. ඒ වගේම ඔයා ගැන ඔයාගෙ සහකරු/සහකාරිය තුළ තියෙන විශ්වාසය බිඳ වැටෙන්න පුළුවන්. නිතර නිතර ගැටුම් ඇතිවෙන්නත් පුළුවන්.

ඒ වගේම සමාව නොගැනීමෙන් එයා හිතනවා එයාගෙ හැගීම් ඔයා තේරුම් ගන්නෙ නැහැ කියලා. අසාර්ථක සබඳතාවකට මේක හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයා සමාව ගන්න දක්වන මැළිකම පසු කාලීනව ඔයාගෙ ස්වයං පසුතැවීමකට හේතු වෙන්න පුළුවන්. ඔයාලා දෙන්නා හදිසියේ හරි වෙන් වුණොත්, ඔයාගෙ හිතේ වරදකාරී හැඟීමක් ඇති වෙන්න පුලුවන්. ඒ නිසා සමාව ගන්න එක එයාගෙ වගේම ඔයාගෙත් මානසික සුවයට හේතුවක් වෙනවා.

සමාව ගැනීම හා සංස්කෘතිය

ඇතැම් සංස්කෘතික තත්ත්වයන් තුළ සමාව ගැනීම නොකල යුත්තක් බව සදහන් කරලා තියෙන්න පුළුවන්. ඇතැම් පවුල් පසුබිම් තුළ මාන්නය සහ ලොකුකම මත සමාව ගැනීම තත්ත්වයට නොගැලපෙන්නක් බව දක්වා තිබෙන්නට පුළුවන්. ඒත් ඔයාලා දෙන්නා වෙනස් වූ සංස්කෘතික පසුබිම් යටතේ සබඳතාවන් ගොඩනගාගෙන ඉන්නවා නම් මෙම සංස්කෘතික බැම්ම බිඳ හෙලන්න ඔයාට සිද්ද වෙනවා. මොකද සාර්ථක ආදර සබඳතාවක් හෝ සාර්ථක විවාහ ජිවිතයක් ගත කරන්නත් මේක ඉතාම වැදගත්.

තවත් සංස්කෘතීන් වල දක්වා තියෙනවා විවාහ වුණ පසු පුරුෂයා විසින් කාන්තාවගෙන් සමාව ඉල්ලීම නොකළ යුතු බව. මේ තුළින් විවාහ ජීවිතය තුළ සැකය සහ අවිශ්වාසය ගොඩ ගැනෙන්ත් හේතු වෙනවා. එ් නිසා ඔයාගෙ අනාගතය සහ ඔයාගෙ ජීවිතය වෙනුවෙන් සංස්කෘතික බැම්ම බිඳ දමනවාද නැද්ද යන්න ඔබ තීරණය කළ යුතුයි.

පුංචි පුංච් දේවලට පවා සමාව ඉල්ලීමේ වැදගත්කම

සමාව ගන්න ඕන ලොකු වැරදි වලට විතරයි කියලා දෙයක් නැහැ. ඔයාගෙ අතින් වෙන සුළු වැරැද්දකට වුණත් සමාව ගන්න පුළුවන්. එහෙම සමාව ගන්න එකෙන් ඔයා ආදරය කරන කෙනා තුල, ඔයා එයාට වැඩි වැඩියෙන් ආදරය කරනවා කියලා දනවන්න පුළුවන්. ඒ වගේම එයාගෙ හැගීම් ගැන ඔයා වැඩි සැලකිල්ලක් දක්වනවා කියලා එයාට හැගෙන්න පුළුවන්. මතක තියාගන්න පොඩි වැරැද්දක් වුණත් පසු කාලීනව ලොකු ගැටුමක් කරා යන්න පුළුවන්. ඒ නිසා ඔයාගෙ අතින් වෙන පුංචි පුංචි වැරැද්දකට පවා සමාව ඉල්ලන්න පුරුදු වෙන්න. ඒක සාර්ථක සබඳතාවක් ගොඩනගාගන්න හේතු වෙනවා.

Digital ලෝකයේ සමාව ඉල්ලීම

වර්තමානයේ බොහෝ අය දුරකථන භාවිතයෙන් තමයි කතාබහ කරන්නෙ, වැරැද්දක් වුනත් සමාව ඉල්ලන්නෙ දුරකතනයෙන්. සාමාන්‍යයෙන් සැබෑ පසුතැවීම ඔයාගෙ ඉරියව් වලින් දැකගන්න බැරි නිසා සමාව ඉල්ලීම දුරකතනයෙන් කරාට වැඩක් නැහැ. කරපු හෝ සිදුවන වැරැද්ද ගැන ඔයා ඇත්තටම පසුතැවෙන බව මැසේජ් එකකින් හරි සාමාන්‍ය දුරකතන ඇමතුමක් අරගෙන හරි කිව්වට එයාට දැනෙන්නෙ නැහැ. ඒ නිසා හැකි නම් වීඩියෝ කෝල් එකක් අරන් එයාගෙන් සමාව ඉල්ලන්න. ඔයාගෙ මුහුණේ ඔයා පෙන්වන ඉරියව් ඉතාම වැදගත්. සමාව ඉල්ලන විට කිසිම පසුතැවීමක් නොමැතිව සමාවෙන්න කියලා කියන්න එපා. ඔයාගෙ පසුතැවීම මුහුණේ ඉරියව් වලින් පවා අඟවන්න. ඔයාගෙ අතින් වුණ වැරැද්දෙන් ඔයාගෙ සහකරු/සහකාරියගෙ හිත රිදුන බව දන්නවා කියලා එයාට පෙන්වන්න.

සමාව ගැනීම ප්‍රමාණවත් නොවුනොත්

සමහර වෙලාවට සමාව ගන්න එක විතරක් ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. ඔයා කරපු වැරැද්ද නිසා එයාගෙ හිත පළුදු වෙලා තියෙන ආකාරය මත සමාව ගැනීමට වඩා වැඩි දෙයක් එයාට අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ වෙලාවට ඔයා සහකරුට/සහකාරියට අවශ්‍ය දේ ගැන අවබෝධයකින් කටයුතු කළ යුතුයි. ආදරෙන් කතාකිරීම, එයාගෙ හිත සැහැල්ලු කරගන්න කාලය ලබා දීම, එයා කැමති දේවල් අරන් දීම වගේ පොඩ් පොඩි දේවල් ඒකට උදව් කරගන්න පුළුවන්. මතක තියාගන්න ඔයාගෙ සමාව ඉල්ලීම වගේම ඒ වෙලාවෙ ඔයා කටයුතු කරන ආකාරය මත ඔයාගෙ සබඳතාව ශක්තිමත් වනවාද එහෙමත් නැත්නම් බිඳ වැටෙනවාද කියලා තීරණය වෙන්න පුළුවන්.

නිතර අහන ප්‍රශ්න (FAQs)

මගේ සමාව එයා පිළිගන්නෙ නැත්නම් මොකද කරන්නෙ

එයාට ටික කාලයක් දෙන්න. එයාගෙ හැගීව් වලට ගරු කරන්න. ඒ කාලෙ සිදුවුණ වැරැද්ද වෙනුවෙන් පසුතැවිලි වෙන බව එයාට අඟවන්න.

සමාව ගන්න එක මෙච්චර වැදගත් ඇයි?

සාර්ථක සබඳතාවක් ගොඩනගාගන්න වගේම, සබඳතාව තුළ ගැටුම් අඩුකරගන්නත්, ඔයාගෙ සහකරු/ සහකාරිය තුළ විශ්වාසය ගොඩගන්නත් සමාව ඉල්ලීව ඉතාම වැදගත්.

එයාව සමාව ඉල්ලන්න පොළඹවන්නෙ කොහොමද?

එයා ඇත්තටම වැරැද්දක් කරලා තියනවානම්, ඒ වැරැද්දට එයා ඔයාගෙන් සමාව ගන්නකන් ඔයා බලන් ඉන්නවා කියලා එයාට අඟවන්න.

අවසාන වශයෙන්, "Sorry" කියලා කියන්නෙ ඉංග්‍රීසී භාෂාවෙන් නම් අකුරු පහක වචනයක්, "සමාවන්න" සිංහල භාෂාවෙන්ද අකුරු පහක වචනයක්. මේ අකුරු පහ ඔයාගෙ ආදරය/විවාහ ජීවිතය සාර්ථක වෙන්නත් අසාර්ථක වෙන්නත් හේතුවක් වෙනවා කියලා මතක තියාගන්න. අපි සමාව ගන්න ඕනෙ අපේ හිත සැහැල්ලු කරගන්න විතරක්ම නෙමේ. අපේ ආදරය/ විවාහ ජිවිතය ආරක්ඹා කරගැනීම වෙනුවෙන් අපි සමාව ගන්න ඕනෙ. සමාව ගන්නෙ දුර්වලයො කියලා හිතාගෙන ඉන්නෙ නැතුව උඩගුකම පැත්තකට දාන්න. වැරැද්දක් වුනොත් සමාව ගන්න.

ඒ වගේම සමහර වෙලාවට වැරැද්දක් නොකරත් සමාව ගන්න සිද්ද වෙනවා. ඒ අවස්ථාවල එහෙම කරන්න පස්සෙ එයාට තේරුම් කරන්න. එයාගෙ හිතේ තියෙන වැරදි වැටහීම නැති කරන්න. ඒ නිසා මේ අකුරු පහට ඔයාගෙ ආදරය හරි විවාහ ජිවිතය හරි නැති වෙන්න/ විනාස වෙන්න දෙන්න එපා.

මේ වගේ දේවල් තවත් කියවන්න කැමති නම් අපේ වෙබ් පිටුව හා සම්බන්ධ වෙන්න ඒ සඳහා ඔබගේ Email ලිපිනය ඇතුළත් කර Sign Up වෙන්න. මෙම ලිපි Email එකක් විදිහට ඔයා ලගටම ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලගෙ අදහස් පහළින් Comment කරලා යන්නත් අමතක කරන්න එපා.