"Boyfriend ඉස්සර වගේ දැන් මට ආදරේ නෑ" කියලා හිතෙනවද?

· 1 min read
"Boyfriend ඉස්සර වගේ දැන් මට ආදරේ නෑ" කියලා හිතෙනවද?
Photo by gbarkz / Unsplash

"Boyfriend ඉස්සර වගේ දැන් මට ආදරේ නෑ... එයා දැන් හුඟක් වෙනස් වෙලා, මං ගැන දැන් හොයන්නෙ නෑ, වෙන කෙනෙක්වත් එයාට හම්බෙලා ඇති.." වගේ දේවල් ඔයාටත් හිතිලා තියෙනවද.? එහෙනම් මේ කතාව ඔයාට..

මේ ගැන කතාකරද්දි අපිට කොටස් දෙකකින් කතාකරන්න පුළුවන්. එකක් එයාට ඔයත් එක්ක කතාකරන්න ඕන වුණත් එයාට තියෙන වැඩ නිසා ඔයත් එක්ක කතාකරන්න බැරි වෙන්න පුළුවන්. අනිත් කාරණාව තමයි ඇත්තටම එයාට ආදරේ එපා වෙලා වෙන්නත් පුළුවන්.

එයාට කතාකරන්න වෙලාවක් නැත්නම්

අනෝන්‍ය අවබෝධය

අපි ආදරේ කරද්දී අනිත් කෙනා අපි ගැන හොයලා බලන විදිහෙන් කතාකරන විදිහෙන් අපි එයාව තේරුම් ගන්නවා. යාළු වුණ මුල් දවස් වල දවසකට පැයක් දෙකක් හෝ ඊට වැඩියෙන් එයා ඔයත් එක්ක කතාකරන්න ඇති, එතකොට ඔයා එයාගෙන් ඒ කතාකරන වෙලාව හැමදාම බලාපොරොත්තු වෙනවා. කතාකරන්න දේවල් නැති වුණත් ඒ කාලය ඔයා වෙනුවෙන් වැය කරන්න ඕන කියලා ඔයා හිතනවා. ඒත් එහෙම කරන්න බැරි වෙන්නත් පුලුවන්.

මෙතන මුලින්ම වැදගත් වෙන කාරණාව තමා එකිනෙකා අතර තියෙන අවබෝධය. දෙන්නට දෙන්නා ඔවුනොවුන්ගෙ රාජකාරීන් පෞද්ගලිකත්වය ගැන හොඳ අවබෝධයකින් සිටිය යුතුයි. ඒ නිසා පුළුවන් තරම් ඔයා ආදරේ කරන එයාව තේරුම්ගන්න උත්සහ කරන්න.. එයාට ඔයත් එක්ක කතාකරන්න බැරි වෙන්න විවිධ හේතු තියෙන්න පුළුවන්..

රැකියාවේ පීඩනය

රැකියාව කියන දේ නිසා ගොඩක් අයට තමන්වම අමතක වෙන අවස්ථාවල් තියෙනවා. ජීවි‍තය පවත්වාගෙන යන්න නම් මුදල් ඉපැයිය යුතුයි. ඒ නිසා රැකියාව අත්‍යාවශ්‍යයි. ඔයාට හිතෙන්න පුළුවන් එයාගෙ රස්සාව තමා නිසා තමයි කතාකරන්නවත් නැත්තෙ කියලා. ඔයා එක්ක යාලුවෙද්දි එයා රැකියාවක නිරත වෙලා සිටියෙ නැත්නම් ඔයාට මේ දේ හුඟක් දැනෙන්න පුළුවන්. ඇත්තටම රැකියාව නිසා ඔයත් එක්ක කතාකරන්න වෙලාවක් නැති වෙන දේ සාමාන්‍යයයි. ඉතින් වැඩ කරන අතරේ හරි කතාකරන්න පුළුවන් නේද කියලා ඔයාට හිතුනත් ඇත්තටම ඒ දේ කරන්න බෑ.. එහෙම කරන්න ගිහින් එක වැඩක්වත් හරියට වෙන්නෙ නැහැ. ඒ නිසා Boyfriendගෙ රැකියාව ගැන සහ ඔහුට රැකියාවේ ඇති වගකිම් ප්‍රමාණය ගැන යම් හෝ අවබෝධයක් ලබාගන්න.

වගකීම් වැඩිවීම

එයා ඔයත් එක්ක යාළු වෙද්දි හැමතැනම ඇවිද ඇවිද ඉදපු කෙනෙක් වෙන්න පුළුවන්, කොටින්ම කිව්වොත් කිසිම බරක් පතලක් නොතේරෙන හැමදේම සැහැල්ලුවට ගන්න කෙනෙක් විදිහට ඉන්න ඇති. ඒත් දැන් හැමතිස්සෙම Serious වෙන පුංචි දේත් දුර හිතන කෙනෙක් විදිහට හැසිරෙනවා වෙන්න පුළුවන්. මේකට කෙටියෙන්ම "ඔයාලගෙ අනාගතය ගැන එයා හිතනවා" කියලා කියන්න පුලුවන්.

මොකද එහෙම කියන්නෙ පිරිමි ළමයි සාමාන්‍යයෙන් තමන්ගෙ වගකීම් ප්‍රමාණය තෙරුම්ගන්නෙ ගැහැණු ළමයෙක් එක්ක යාළු වුණාට පස්සෙ.. මධ්‍යම පාන්තික පිරිමි ළමයෙක් එක්ක නම් ඔයා යාළු වෙලා ඉන්නෙ එයා ඉන්න තැනක් හදාගන්න ඕන, වාහනයක් ගන්න ඕන, වෙඩින් එකක් ගන්න ඕන, අනාගතේ ළමයි වෙනුවෙන් මොනාහරි ඉතුරු කරලා තියාගන්න ඕන කියන දේවල් වෙනුවෙන් වැඩ කරනවා. ඒ වැඩ කරන අතරතුර එයාට ඔයාව ටික ටික මිස් වෙනවා වගේ දැනෙන්න පුළුවන්. මුලින්ම ඔයා එයාව තේරුම් අරගෙන ඉන්න ඕන. එයාගෙ බලාපොරොත්තු කියන දේ ගැන අවබෝධයක් ගන්න ඕන. එයාට උදව් කරන්න. එතකොට ඇත්තටම එයා ඔයත් එක්ක කතාකරන්නෙ නැද්ද කියන එක ගැන අවබෝධයක් ගන්න පුළුවන්.

ඔයා පොඩි ළමයෙක් නෙමෙයි දැන්

හැමෝම කැමතියි තමන්ගෙ පිරිමි ළමයා ළඟ හුරතල් වෙන්න. ඔයාගෙ මෝඩ කතා පිස්සු වැඩ ගැන කියන්න. ඉතින් එයා ඉස්සරහා ඔයා බබෙක් වගේ හැසිරුනාට එයාට තියෙන වගකීම් අනුව එහෙම කරන්න බැරි වෙන්න පුළුවන් නැත්නම් හැමතිස්සෙම ඔයාගෙ මෝඩ කතා අහගෙන ඉන්න එයාට බැරි වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔයා විහිළුවක් එයාට තරහා යන්න පුළුවන් ඒ නිසා එයත් එක්ක කතාකරන්න ඔයා එයාට දෙයක් කියද්දි එයා ඉන්න තත්ත්වය ගැන ටිකක් තේරුම් අරන් කතාකරන්න.

ඒ වගේම එයාගෙන් ඔයා බලාපොරොත්තු වෙන ආදරේ එයා දෙනකන් බලාගෙන ඉන්න එපා. එයත් එක්ක කතාකරන්න. ඇයි එයා ඔයත් එක්ක කතාකරන්නෙ නැත්තෙ කියලා එයාගෙන් අහන්න. එතකොට ඔයාටත් එයාව තේරුහ් ගන්න පුළුවන් එයාටත් ඔයා වෙනුවෙන් එයාගෙ කාලය වැය කරන්න පුළුවන්.

ඇත්තටම එයාට ආදරේ එපා වෙලානම්

දෙවැනි කොටස එහෙමත් නැත්නම් එයාට ඇත්තටම ආදරේ එපා වෙලානම් මේ වගේ පොඩි පොඩි වෙනස්කම් ඔයාට එයාගෙන් බලාගන්න පුලුවන්

  • දවස් ගණන්, සති ගණන් ඔයාට කෝල් එකක් හෝ මැසේජ් එකක් දාන්නෙ නැත්නම් එයාට අවශ්‍ය වෙලාවට පමණක් ඔයත් එක්ක කතාකරනවා නම්,
  • එයා ඔයාව හම්බෙන්න එන්න දිගින් දිගටම මගහරිනවනම්,
  • කතාකරද්දි කිසිම කැමැත්තකින් කතාකරන්නෙ නැත්නම් ඒ කියන්නෙ කෝල් එකක් හෝ මැසේජ් එකක් දැම්මාම එයා ඔයා කියන දේවල් කිසිම විදිහකට ගණන් නොගෙන ඉන්නවනම්,
  • එයා ඔයාගෙන් දේවල් හංගනවා වගේ දැනෙනවනම්,

මේ වගේ දේවල් දැනෙනවනම් ඒ කියන්නෙ දවසක් දෙකක් නම් නෙමේ ටික කාලයක් එයා මේ විදිහට හැසිරෙනවනම් එයත් එක්ක කතාකරන්න එයාගෙන් අවශ්‍ය දේ අහන්න. ඇත්තටම එයාට ආදරේ එපා වෙලා වගේනම් ඔයාට එයාගෙන් ආදරයක් ලැබෙන්නෙම නැත්නම් එතන ඉන්න එපා. ඔයා තවත් එයා වෙනුවෙන් ඉන්නවා කියන්නෙ ඔයා විසින්ම ඔයාව විනාස කරගන්නවා කියන එක. මානසිකව වගේම, කායිකවත් ඔයා වැටෙන්න පුළුවන් ඒ නිසා එහෙම දෙයක් දැනෙනවා නම් එයත් එක්ක කතාකරලා දෙන්නාගෙම කැමැත්තෙන් දෙපැත්තකට වෙන්න..

මේ කාරණය පොඩ් පොඩ් දේවල් ගැන හිතලා එයාගෙන් අහන්න යන්නවත් එයා එහෙමයි කියලා හිතන්න යන්නත් එපා.. මේ කාරණාව එයා ඔයාව හුඟක් මගහරිනවනම් විතරයි වලංගු වෙන්නෙ.

ඉතින් අවසාන වශයෙන් එයාගෙ පොඩි පොඩ් වෙනස්කම් දැක්කොත් එයා ඔයාට ආදරේ නෑ කියලා නිගමනය කරන්න කලින් එයත් එක්ක කතාකරන්න ඒ ඇයි කියලා. එතකොට ඔයාට දැනගන්න පුළුවන් එයා එහෙම ඉන්නෙ ඇයි කියලා. ඔයා හිතුවට ඔයා ඔයාට ආදරේ නෑ කියලා, ඇත්තටම ඔයා හිතනවටත් වඩා එයා ඔයාට ආදරේ කරනවා වෙන්න පුළුවන්. ඒ නිසා පුංචි පුංචි දේවල් කතාකරන්න. දෙන්නා අතරේ විස්වාසය, අවබෝධය ගොඩනගාගන්න. හැමදාමත් ආදරෙන් ඉන්න..

ඉතින් අපේ ගෑනු ළමයින්ට කියන්න තියෙන්නෙ චුට්ටක් විතර Boyfriendගෙ ඔළුව කෑවට කමක් නෑ.. හැබැයි ඊටත් වඩා එයාට ආදරේ කරන්න. එයා වෙනුවෙන් ඉන්න. එයාව තේරුම්ගන්න. එතකොට ඔය වගේ දේවල් හිතෙන එක නවතීවි..

ඉතින් මේ වගේ දේවල් දැනගන්න කැමතිනම් අපිව Subscribe කරලා තියාගන්න. අදහස් තියෙනවනම් පහළින් Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.