ඇත්තටම අපිට ආදරය කරන කෙනා හම්බවෙනකන් අපි ආදරය හොයනවා, හිත නවතින කෙනා එක්ක යාළු වෙනවා දෙන්නා ගැලපෙන්නෙ නැත්නම් වෙන් වෙනවා. සමහර අවස්ථාවල අපි කොච්චර ආදරේ කළත් අපිට නොකියම යන අයත් ඉන්නවා. ඉතින් ඇත්තටම වෙන්වීම කියන්නෙම දුකක්. එතනිනුත් පළමු ආදරයෙන් වෙන් වීම කියන්නෙ කියාගන්න බැරි දුකක්. සමහර අය අවුරුදු ගණන් ඒ වෙන්වීම ගැන පසු තැවෙනවා. නමුත් ඇත්තටම අපේ ජීවිතය ගැන පවා හිතන්නෙ නැතුව අහිමි වුණ ආදරය ගැන සිතමින් ජීවත් විය යුතුද?.

මේ ලිපිය තුළින් අද කතාකරන්නෙ ඒ වගේ ආදරය අහිමි වුණ අයට, තමන්ගෙ ජීවිතයට තිතක් නොතියා ලස්සන අනාගතයක් කරා යාමට ජීවිතය සකස් කරගන්න විදිහ ගැන කියා දෙන්න.

ඔබේ හැඟීම් ගැන අවබෝධ කරගන්න

පළමු කම්පනය

ආදරය අහිමි වීම කියන්නෙ දැඩි කම්පන තත්ත්වයක්. සමහර වෙලාවකට අපි නොහිතන වෙලාවක වෙන් වීම ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේ වෙලාවට අපට දැනෙන දුක අධිකයි.විනාඩියකට පෙර දෙදෙනෙක් විදිහට හිටපු ඔයාට දැන් ඔයා විතරයි ඉන්නෙ කියලා දැනෙන හැගීම ඔයාව දැඩි කම්පන තත්ත්වයකට ගෙන යනවා. ඒ අවස්ථාවේ ඔබ සිතිය යුත්තේ ඔබ ගැනයි. මේක කරන්න ඉතාම අමාරුයි. මොකද ඒ අවස්ථාවේ ඔයාට ඔයා ගැන හිතන්න තරම් මානසික මට්ටමක ඔයා නැහැ. නමුත් මෙහිදී ඔබ මානසිකව නොවැටී ඉන්න එක ඉතාම වැදගත්.

දැනෙන දුක

ආදර සබඳතාවක් බිඳ වැටුනට පස්සෙ දැනෙන දුක ඉතාමත්ම අධිකයි. ඔයාට නැති වුණේ ආදරය කරපු කෙනා විතරක් නෙමේ එයත් එක්ක ඔයා මවපු අනාගතයම ඔයාට අහිමි වෙනවා. ඒ නිසා ඔයාට දැනෙන දුක පාලනය කරන්න යන්න එපා. දුක පිටකරන්න. ඔයාට අඬන්න ඕන නම් අඬන්න. ඔයාගෙ දුක පිටකරන්න. කොයිම වෙලාවකවත් දුක හිතේ තද කරන් ඉන්න එපා.

යථාර්ථය පිළිගන්න

එක රැයකින් ඇත්ත පිළිගන්න එක අමාරු දෙයක්. ඒත් ඔයා ඒකට උත්සහ කරන්න. නැති වුණ ආදරය අතීතයක් විතරයි කියලා ඔයා ඔයාටම අඟවන්න. මේකෙන් අදහස් කරන්නෙ හැමදෙයක්ම අමතක කරන්න කියන එක නෙමේ. ඔයා කරන්න ඕනේ අතීත මතක එහෙම්ම තියලා අනාගතය වෙනුවෙන් කටයුතු කරන එක. ඒකෙන් පරණ මතක අමතක කරන්න ඔයාට අවස්ථාවක් ලැබෙනවා.

ඔයා ගැන සැලකිලිමත් වෙන්න

ඔයා ඔයා ගැන හිතන්න

වෙන්වීමකට පස්සෙ ඔයා කරන්න ඕන මුල්ම දේ තමයි ආත්මාර්ථකාමී වෙන එක. මෙතනින් එහාට ඔයා හිතන්න ඕන ඔයා ගැන. කෑම කන්නෛ නැතුව නිරාආහාරව ඉන්න එක කරන්න එපා. ඒ වගේම ඔයා ඔයාගෙ ශරීරයට දුකක් දෙන්න එපා. වේදනාවක් තියෙනවා ඒක හරි ඒත් ඔයා ඔයාටම වේදනා දෙන එක කරන්න එපා. එහෙම කරාම ඒ වේදනාවත් ලැබෙන්නෙ ඔයාටමයි. ඒ නිසා ඔයා ඔයා ගැන විතරක් හිතන්න. හිත නිදහස් කරගන්න පොතක් කියවන්න, වගේ ඔයා ආස දේවල් කරන්න. පුළුවන් තරම් සතුටු වෙන්න පුළුවන් දේවල් හොයාගන්න.

ශාරීරිකව ශක්තිමත් වෙන්න

අපේ හිතට දුකක් දැනුනාම අපි වැඩක් කරන්නෙ නැතුව දුක් වෙවී ඉන්නවා. අපේ ශරීරයට වේදනාවන් ලබා දෙනවා. ඔයාට දැනෙන ආතතිය, කාන්සාව නැති කරගන්න පුළුවන් තරම් ව්‍යායාම කරන්න. ඇවිදින්න, යෝගා කරන්න. එතකොට ඔයාට ඔයාගෙ මනස සැහැල්ලු කරගන්න පුළුවන් වෙනවා වගේම ශාරීරිකවත් ඔයාට ශක්තිමත් වෙන්න පුළුවන්.

හොඳට කෑම කන්න

ගොඩක් අය break-up එකකට පස්සෙ කෑම කන එක ප්‍රතික්ෂේප කරනවා. එහෙම කරන්න එපා. ඔයා දැන් හිතන්න ඕනෙ ඔයා ගැන විතරයි. ඒ නිසා හොඳට කන්න. ක්ෂණික ආහාර වලට පුරුදු වෙන්න එපා. සමබර කෑම වේලක් ගන්න. ශරීරඩ සෞඛ්‍ය ගැන ගොඩක් හිතන්න. ඔයා උයන්න ආස කෙනෙක් නම් අලුත් අලුත් කෑම වර්ග අත්හදා බලන්න. ඒකෙන් ඔයාගෙ මනසට සැහැල්ලුවක් ගෙන දේවි.

හොඳ නින්දක් ලබා ගන්න

ඔයා දැනටත් ආදරයෙන් පරාද වෙලා ඉන්නවනම් ඔයා රෑට එළිවෙනකන් කල්පනා කරනවා ඇති. එහෙම කරන්න එපා. හොඳ නින්දක් ලබාගන්න. ගොඩක් අය පවුලෙ කවුරුත් දන්නෙ නැත්නම් දවල් කාලයේ ඉන්නෙ දුකකින් කියලා එයාලට අඟවන්නෙ නැතුව රෑට ඇඳට ගියාම කල්පනා කරන්න ගන්නවා. ඒක ඔයාගෙ ශරීර සෞඛ්‍යයට හොඳ නෑ. ඒ නිසා පුළුවන් තරම් හොඳ නින්දක් ලබාගන්න.

අනිත් අයගේ සහය පතන්න

මිතුරන් සහ පවුලේ අය එක්ක කතාකරන්න

කොයිම වලාවකවත් තනියම පැත්තකට වෙලා ඉන්න හදන්න එපා. යාළුවො එක්ක කතාකරන්න. එයාලා එක්ක විනෝද වෙන්න. ඔයාගෙ හිතේ තියෙන දුක, වේදනාව එයාලට කියන්න. පවුලේ අයත් එක්ක කතාකරන්න. එයාලා එක්ක ඔයාගෙ හැඟීම් බෙදාගන්න. ඔයාට ඔය ඉන්න තත්ත්වෙන් මිදෙන්න එයාලා ගොඩක් උදව් වේවි. කොයිම වෙලාවකවත් හිතන්න එපා මගෙ දුක මංම නැතිකරගන්නවා, මට ඉන්නෙ මං විතරයි වගේ දේවල්, ඔයාට හැමෝම ඉන්නවා. ඔයා කතාකරනකල් එයාලා බලන් ඉන්නවා. ඒ නිසා තනියම ඉන්න හදන්න එපා.

වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න

ඔයාට හිතෙනවා නම් ඔයා ඉන්න තත්ත්වෙන් සාමාන්‍ය තත්ත්වෙට එන්න ඔයාට අමාරුයි කියලා, ඒ කියන්නෙ දෛනික වැඩ පවා ඔයාට කරන්න අපහසුයි කියලා දැනෙනවානම් අනිවාර්යෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න. බය වෙන්න එපා. මේ වගේ දේකට කවුද බෙහෙත් කරන්නෙ කියලා හිතන්න එපා. මනෝ වෛද්‍යවරු ඉන්නෙ ඒ වෙනුවෙන්. ඔයාගෙ වේදනාව, එයාලට කියන්න. ආයෙත් සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න මොනවද කරන්න ඕන කියලා වෛද්‍යවරු ඔයාට උපදෙස් ලබාදේවි. ඒ නිසා වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න මැලිකමක් හරි බියක් හරි දක්වන්න එපා. ඔයාගෙ පෞද්ගලිකත්වය ඒ වෛද්‍යවරු ආරක්ෂා කරනවා. ඒ නිසා ඔයාගෙ යහපත වෙනුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න.

අනිත් අයගෙ අත්දැකීම් ලබාගන්න

කලින් කියපු එක ඒ කියන්නෙ ඔයාට දෛනික වැඩ කටයුතු කරන්න පුළුවන් කමක් තියෙනවනම් හරි ඔයා සාමාන්‍ය මට්ටමකට යථා තත්ත්වයට පත් වෙලා ඉන්නවානම්, ඔයාගෙ මනස තවත් සැහැල්ලු කරගන්න වෙනත් අයගෙ අත්දැකීම් ගැන දැනගන්න. එයාලා ආදරයකින් වෙන් වුණාට පස්සෙ කොහොමද සාමාන්‍ය තත්ත්වය ආවෙ කියලා දැනගන්න. එයාලා සාමාන්‍ය තත්ත්වයට එන්න කරපු දේවල් ඔයාට කරන්න බැරි වෙන්න පුළුවන්, ඒත් ඒ දේවල් ආදර්ශයට ගන්න.

ඔබව නැවත සොයාගන්න

අලුත් විනොදාංශ සොයාගන්න

වෙන් වීමකට පස්සෙ ඔයා ආයෙත් ඔයාව හොයාගන්න ඕනෙ. ආදරය කරද්දි ඔයා එයා කැමති දේවල් කරා වෙන්න පුළුවන්. දැන් එහෙම අවශ්‍ය වෙන්නෙ නෑ. දැන් ඔයා හිතන්න ඕනෙ ඔයා ගැන විතරයි. ඒ නිසා අලුත් විනෝදාංශ හොයාගන්න. එහෙමත් නැත්නම් ඔයා ආදරයකට යන්න කලින් කරපු දේවල් ආයෙත් කරන්න ගන්න. උදාහරණයක් විදිහට ඔයා ලිියන්න ආසයි නම් ලියන්න, ක්‍රීඩා සඳහා යොමු වෙන්න.

ඇවිදින්න යන්න

Trip යන්න. පරිසරය විඳින්න. trip යන්න සල්ලි ගොඩක් ඕනෙ කියලා හිතන්න එපා. සති අන්තෙ දවස් වල හරි ඇවිදින්න යන්න. ගොඩක් දුර යන්න ඕනෙ නෑ. ඔයාගෙ මනස සැහැල්ලු කරගන්න පරිසරයේ තියෙන සුන්දරත්වය විඳින්න. ලස්සන තැන් වල ඇවිදින්න යන්න. අලුත් මතක ඔයාගෙ ජීවිතයට එකතු කරගන්න.

අලුත් දේවල් ඉගෙන ගන්න

ඔයාට පුළුවන්නම් අලුත් දේවල් ඉගෙන ගන්න. උදාහරණයක් විදිහට වෙන භාෂාවක් ඉගෙන ගන්න. සංගීතයට යොමුවෙන්න. පුළුවන් තරම් අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න බලන්න. ඔයා ඒ ඉගෙන ගන්න දේවල් වලින් ඔයාගෙ අනාගතය ඔයාට ගොඩනගාගන්නත් පුළුවන් වේවි.

ආත්ම විශ්වාසය ගොඩනගාගන්න

ඉලක්ක හදාගන්න

ආදර සබඳතාවක් බිඳ වැටුනට පස්සෙ මට මුළු ලෝකයම නැති වුණා කියලා හිත හිත ඉන්න එපා. ඔයාගෙ ජීවිතයට අලුත් ඉලක්ක හදාගන්න. ඒ ඉලක්ක වෙනුවෙන් වැඩ කරන්න ඔයා කටයුතු කරගන්න. සරවලම කිව්වොත් වෙන්වීම motivation එකක් කරගන්න.

හැම වෙලාවෙම ධනාත්මකව හිතන්න

කොයිම වෙලාවකවත් මට හැමදෙයක්ම නැති වුණා කියලා හිතන්න එපා. මොන දේ කරත් හරි යන්නෙ නෑ කියලා හිතන්න එපා. බලාපොරොත්තු සහගතව අනාගතය දිහා බලන්න. හැමවෙලාවකම ධනාත්මකව හිතන්න.

ආයෙත් සමාජයට මුසු වෙන්න

අලුත් යාළුවො ඇති කරගන්න

වෙන්වීම ඔයාව හුකදලා කරන්න උත්සහ කරනවා. ඒත් ඔයා අලුත් යාළුවො ඇති කරගන්න. කිසිම වෙලාවක පැත්තකට වෙලා තනියම ඉන්න උත්සහ කරන්න එපා. අලුත් යාළුවො ජීවිතයට එකතු කරගෙන එයාලා එක්ක විනෝද වෙන්න. සතුටින් ඉන්න කටයුතු කරන්න.

පරණ යාළුවො එක්ක ආයෙ එකතු වෙන්න

සමහර වෙලාවට ඔයා ආදරේ කරද්දි පරණ යාළුවො ඔයාට නැති වෙන්න ඇති, එහෙමත් නැත්නම් එයාලව මඟහැරෙන්න ඇති මේක අවස්ථාවක් කරගන්න ආයෙත් එයාලත් එක්ක එකතු වෙන්න. කවදාවත් එයාලා ඔයාට තනිවෙන්න ඉඩ තියන එකක් නැහැ. ඔයාගෙ හිතන පුදුමාකාර සැහැල්ලුවක් දැනේවි. ඒ වගේම ඔයාට අතීතය අමතක කරන්නත් හොඳ අවස්ථාවක් සැලසේවි. ඒ නිසා පරණ යාළුවො එක්ක ආයෙත් එකතු වෙන්න.

සමාජ වැඩවලට සම්බන්ධ වෙන්න

ඔයාට පුළුවන්නම් සමාජ වැඩවලට සම්බන්ධ වෙන්න. මොකද ඒ වගේ දේවල් වලින් අලුත් යාළුවො අඳුරගන්න වගේම අලුත් අලුත් දේවල් ඉගෙන ගන්නත් ක්‍රියාශීලීව ඉන්නත් ඔයාට පුළුවන් වෙනවා.

ඉස්සරහට යන්න

තරහා අමතක කරන්න

මේකෙදි කියන්නෙ ඔයාව දාලා ගිය හෝ වෙන් වුණ කෙනා කෙරෙහි ඔයාගෙ හිතේ තියෙන තරහා අමතක කරලා සමාව දෙන්න කියන එක නම් නෙමේ. මෙතනදි කියන්නෙ ඔයා ඔයා කෙරෙහි දක්වන තරහා සහ වෛරය නැති කරගන්න කියලා. එතකොට ඔයාට සැහැල්ලු බවක් දැනේවි. ඒ නිසා තරහා අමතක කරලා ඉස්සරහට යන්න.

අනාගතේ ආයෙත් ආදරය කරනවානම් ඔයාට අවශ්‍ය දේ තේරුම් ගන්න

අනාගතේදි ඔයා නැවතත් ආදර සබඳතාවක් කරා යොමු වෙනවානම් ඔයා ඇත්තටම එයාගෙන් බලාපොරොත්තු වෙන දේවල් ගැන අවබෝධයක් ලබා ගන්න. ආයෙත් ඔයා කෙනෙක් එක්ක යාළුවෙන්න කළින් ඔයා එයා ගැන හොයන්න. ඔයා හොයන ගතිගුණ එයා ළග තියෙනවද කියලා බලන්න. ඔයා කලින් ආදරය කරද්දි දුක් වුණ දේවල් එයා ළග නැද්ද කියලා බලන්න. එතකොට ඔයාට ගැලපෙන සහකරුවෙක්/සහකාරියක් හොයාගන්න පුළුවන් වේවි.

ආයෙ කවද්ද ආදරය පටන් ගන්න ඕන

ඔයා ආයෙත් ආදරයක් පටන් ගන්න ඕන මේ කාලෙදි කියලා නිශ්චිත කාල වකවානුවක් නැහැ. ඔයා සාමාන්‍ය තත්ත්වයට පත් වුණාට පස්සෙ ආයෙත් ආදරය කරන්න ඔයාගෙ හිතට බලාපොරොත්තුවක් ලැබුනාම ඔයා ආයෙත් ආදරය කරන්න. මාසයක්, මාස 5ක් 6ක්, අවුරුද්දක්, අවුරුදු 5ක් ගියත් ඔයා ඔයාගෙ හිත ආයෙත් ආදරයකට යොමු වෙන්න සූදානම් කියලා දැනෙද්දි ඒ සඳහා යොමු වෙන්න. සමහර වෙලාවට නැති වුණ ආදරයක් අමතක කරන්න අලුත් ආදරයක් හොයාගන්න අයත් ඉන්නවා. නමුත් මෙතනදි ඒක කරන්න කියන්නෙ නැහැ. ඒ ඔයා ආදරයක් මතක කරන්න තවත් ආදරයක් හොයනවා නම් ඒ හොයන කෙනාට ඇත්තටම ඔයා ආදරේ කරනවද කියන ප්‍රශ්නය මතු වෙනවා. ඒ නිසා එහෙම කරන්න එපා. කාලයක් ගත කරන්න. ඔයාට දැනේවි දැන් මම ආයෙත් ආදරයක් ලබන්න ඕන කියලා එතකොට ආදරයක් හොයන්න.

නිතර අහන ප්‍රශ්න (FAQs)

Breakup එකකට පස්සෙ කොච්චර කාලයක් යනවද සාමාන්‍ය තත්ත්වයට එන්න?

නිශ්චිත කාල වකවානුවක් නැහැ. සමහර අය සති දෙක තුනකින් සාමාන්‍ය තත්වයට එනවා. ඇතැම් අයට ඊට වඩා වැඩි කාලයක් ගත වෙනවා. ඒක ඔයාගෙ හිත සහ ඔයා කරන දේවල් අනුව වෙනස් වෙනවා.

Ex එක්ක යාළුවො වගේ හිටියට කමක් නැද්ද?

පුළුවන්. බැරි නැහැ. ඒත් එහෙම ඉද්දි ඔයාට පරණ දේවල් මතක් වෙන්න පුළුවන්. ඔයාලා දෙන්නා තරහා වීමකින් තොරව දෙදෙනාම කතාකරලා වෙන් වුණා නම් යාළුවො වගේ ඉන්න එක ගැටළුවක් නැහැ. එහෙම ඉන්න අය ඉන්නවා. හැබැයි ඔයා ඔයා ගැන හිතන්න. ඔයාට එහෙම ඉන්න බැරිනම් එහෙම ඉන්න හදන්න එපා.

මට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යයි කියලා දැනගන්නෙ කොහාමද?

ඔයාට එදිනෙදා වැඩ පවා කරගන්න අමාරුයි නම් දැඩි දුකකින්, සාංකාවකින්, බලාපොරොත්තු සුන් වීමකින් ඉන්නවා නම් අනිවාර්යෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න.

Exව Social media වලින් block කරන්න ඕනෙද

එයාව ආයෙ ආයෙත් දකින එක ඔයාට වේදනාවක් ගෙන දෙනවා නම් එයාව Social media වලින් block කරන්න.

කවද්ද මම ආයෙත් සතුටින් ඉන්නෙ?

ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. වෙන් වීමකින් පස්සෙ ඔයා සාමාන්‍ය තත්ත්වයට එන්න ඔයාගෙ තියෙන උනන්දුව සහ කැපවීම මත ඒක වෙනස් වෙනවා. ඔයාට ඉක්මනින් සතුටින් ඉන්න ඕන නම් ඉක්මනින් සාමාන්‍ය තත්ත්වය එන්න වෙනවා. ඒ වෙනුවෙන් කැප වෙන්න ඔයාට සිද්ද වෙනවා.

අවසාන වශයෙන් වෙන්වීම කියන්නෙ දුකක්. දවසින් දෙකින් එළියට එන්න අපහසුයි. ඒ නිසා ආදර සබඳතාවක් බිඳ වැටුනට පස්සෙ ඔයා වැඩ කරන්න ඕන ඔයා ගැන හිතලා විතරයි. අතීතය ගැන නැතුව අනාගතය ගැන හිතන්න. ඔයාගෙ ශරීර සෞඛ්‍ය ගැන හිතන්න. ඔයා ඔයාටම වේදනාවන් දෙන්න එපා. ඔයා වැටෙන්න වගේ යනවානම් අනිවාර්යෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න කටයුතු කරන්න. එහෛනම් ඔයාලා හැමොගෙම හිත් ආයත් පරණ තත්ත්වයම ඇවිල්ලා සාමාන්‍ය කෙනෙක් විදිහට ජීවත් වෙන්න පුළුවන් වෙන්න කියලා LoveLaneLife අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

"ඔයාට පුළුවන්..!"

මේ වගේ දේවල් තවත් කියවන්න කැමති නම් අපේ වෙබ් පිටුව හා සම්බන්ධ වෙන්න ඒ සඳහා ඔබගේ Email ලිපිනය ඇතුළත් කර Sign Up වෙන්න. මෙම ලිපි Email එකක් විදිහට ඔයා ලගටම ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලගෙ අදහස් පහළින් Comment කරලා යන්නත් අමතක කරන්න එපා.