ඔයාගෙ ආදරේ ගැන මේ දේවල්නම් යාළුවන්ටවත් කියන්න එපා

· 1 min read
ඔයාගෙ ආදරේ ගැන මේ දේවල්නම් යාළුවන්ටවත් කියන්න එපා
Photo by Joel Muniz / Unsplash

අපි හැමෝම පුරුදු වෙලා ඉන්න දෙයක් තමයි තමන්ගෙ ආදරේ යාළුවන්ට කියන්න. විශේෂයෙන්ම හොඳම යාළුවන්ට. කෙනෙක් ගැන කැමැත්තක් ඇති වුණත්, කෙනෙක් යාළු වෙන්න ඇහුවත්, Breakup වුණත් අපි ඉස්සෙල්ලම යන්නෙ යාළුවො ළඟට. ඔයාට දැනෙන දේ, ඔයාට හිතෙන දේ ඔයා එයාලට කියනවා. එයාලත් ඔයාට උපදෙස්, අවවාද වගේම එයාලාගෙ සහයත් ලබා දෙනවා. එහෙම හැමදේම විවෘතව කියන එක හොඳයි. මොකද එතනින් ඔයාගෙ හිතට සහනයක් ගෙන දෙනවා. ඒත් යාළුවන්ටවත් කියන්න හොඳ නැති/ එයාලත් එක්ක බෙදාගන්න හොඳ නැති සමහර දේවල් තියෙනවා. ඒ දේවල් ඔයා තුළම තියාගන්න එක හොඳ වගේම සාර්ථක ආදර ජීවිතයක් ගත කරන්න හේතු වෙනවා.

ඉතින් අද අපි මේ ලිපිය තුළින් කතාකරන්නෙ අන්න ඒ දේවල් ගැන. ඔයත් ආදරේ කරන කෙනෙක් නම් මේ දේවල් ගැන අවබෝධයෙන් ඉන්න.

"අපි කවදාවත් රණ්ඩු වෙන්නෙ නෑ"

මේ වැරැද්ද ගොඩක් අය කරනවා. ඔයත් කියලා ඇති ඔයාගෙ යාළුවන්ට "අපි දෙන්නා නම් කවදාවත් රණ්ඩු කරන්නෙ නෑ" කියලා, කියලා ඇති. මෙහෙම කියන එකෙන් ඔයාගෙ ආදරේ ගැන යථාර්ථවාදී ප්‍රතිරූපයක් මවනවා කියලා ඔයා හිතුවට එහෙම වෙන්න නැහැ.

ව්‍යාජ පරිපූර්ණත්වය : "අපි දෙන්නා කවදාවත් රණ්ඩු වෙන්නෙ නැහැ" කියන දේ ඇත්තටම තාත්වික නැහැ. මොකද ආදරේ කරද්දි රණ්ඩු වෙනවා කියන දේ සාමාන්‍යයි. එකම අදහස් තියෙන අය අඩුයි. විවිධ අදහස් තියෙන්න පුළුවන්. රණ්ඩු වෙනවා කියන එකින් අදහස් කරන්නෙ ගහ මරා ගන්න එක නෙමේ. මත නොගැලපීම්, විරුද්ධ අදහස් සහ ආශාවන් වගේ දේවල් නිසා ආදරේ කරන අය අතරෙ විවිධ මත ගැටුම් ඇති වෙනවා. මේ දේවලුත් අපි සරල භාෂාවෙන් රණ්ඩු කියලා හඳුන්වනවා. ඉතින් ඔයාලා අතරෙත් පුංචි පුංචි මත නොගැලපීම්, විරුද්ධ අදහස් තියෙනවා කියලා අඟවන්න. මොකද එහෙම අදහස් නොගලපීම් ඇති වෙද්දි තමයි අපි අනිත් කෙනා හිතන පතන විදිහ ගැන තේරුම් ගන්නෙ. මෙහෙම හිතන්න. දැන් ඔයාලා කවදාවත් රණ්ඩු වෙන්නෙ නැහැ කියලා යාළුවන්ට කිව්වොත් එයාලා ඔයාලව ඒ ප්‍රතිරූපෙන් මනිනවා. හදිසියෙ ඔයාලා අතරෙ මත නොගැලපීමක් නිසා රණ්ඩුවක් ඇති වුණත් ඔයාට ඒ දේවල් යාළුවන්ගෙන් සඟවගෙන ඉන්න අමාරු වෙනවා. ඒක ඔයාට දැඩි පීඩනයක් ගෙන දෙන්න පුළුවන්.

මිතුරන් නොමඟ යවන්න එපා : ඔයාලා දෙන්නා කවදාවත් රණ්ඩු වෙන්නෙ නැහැ කියලා කියන එකෙන් ඔයාගෙ යාළුවො, ආදරේ කරද්දි රණ්ඩු වෙන්න හොඳ නෑනේ. රණ්ඩු වෙනවා නම් එතන ආදරයක් නෑනේ කියලා හිතන්න පුළුවන්. ඔයාලගෙ ආදරේ එයාලගෙ ආදරේ එක්ක සසදන්න පුළුවන්. ඔයාලටත් රණ්ඩු නොවී ඉන්න පුළුවන්නම් ඇයි අපිට එහෙම බැරි කියලා හිතන තත්ත්වෙට එයාලා වැටෙන්න පුළුවන්. ඒ නිසා එහෙම කියන්න එපා.

යථාර්ථය : කලිනුත් කිව්වා වගේ රණ්ඩු වෙනවා එහෙමත් නැත්නම් ගැටුමක් කියන්නෙ ආදරය කරද්දි හෝ විවාහ ජීවිතේදි සාමාන්‍ය දෙයක්. ඔයාලා අතරෙ ප්‍රශ්න ගැටුම් තිබිලත් ඔයාලා කවදාවත් රණ්ඩු වෙන්නෙ නැහැ කියන බොරු මවාපෑම පෙන්වනවා වෙනුවට යථාර්ථය පෙන්වන්න. විවිධ මත ගැටුම්, අදහස් නොගලපීම් තිබුණත් ඒ දේවල් හඳුනාගෙන, ඒ ගැටුම් හරහා ඔයාලා ආදරය කරන බව පෙන්වන්න.

අපි හැම දෙයක්ම බොරුවට මවා පාලා අපේ ආදරේ හෝ ජීවිතේ අංගසම්පූර්ණයි කියලා පෙන්වනවට වඩා, ඇත්තටම ඔයාලා දෙන්නා ඉන්න විදිහ පෙන්වන එක තුළින් ඔයාලගෙ ආදරේට වැඩි වටිනාකමක් හිමි වෙනවා.


"එයා මගෙ විදිහ නෙමේ, එයා මගෙ type එකේ නෙමේ"

මේ කතාව ගොඩක් අය කියන්නෙ තමන්ගෙ ආදරේ අනිත් අයට සඟවන්න. හැබැයි මේ වචන ටික අපි හිතනවට වඩා දරුණුයි. ඔයා ආදරේ කරන කෙනා ඔයා කැමති විදිහෙ කෙනෙක් නෙමේ කියන එක ඔයා වෙනත් අරමුණකින් කිව්වත් අන්තිමට ඔයාම ඒකට හුරු වෙන්න පුළුවන්. අන්තිමේදි ඔයාටම හිතේවි මෙයා මම කැමති විදිහෙ කෙනෙක් නෙමෙයි කියලා.

ආදරේ අවතක්සේරු කරන්න එපා : ඔයාලා දෙන්නා ආදරය කරන බව යාළුවො දැනගෙන ඉද්දි ඔයා මේ විදිහෙ කතාවක් කියනවා කියන්නෙ යාළුවන්ගෙ හිත්වල "ඇයි එහෙනම් එයත් එක්ක තවත් ඉන්නෙ" කියන ප්‍රශ්නය මතුවෙනවා. එයාලා ඔයා ගැන වැරදි වැටහීමක් ඇති කරගන්න පුළුවන්. සමහර විට ඔයා ආදරය කරන කෙනා මේ ගැන දැනගත්තොත්, ඔයා මොන දේ පැහැදිලි කරන්න හැදුවත් ඒකෙන් වැඩක් වෙන්නෙ නැහැ. මොකද ඔයා එයාව වෙන අය ඉස්සරහා අවතක්සේරු කරලා ඉවරයි.

යාළුවො ඔයාගෙ ආදරය විනිශ්චය කරන්න ගන්නවා : එයා ඔයාගෙ විදිහ නෙමෙයි නම් ඇයි ඔයා තවත් එයා එක්ක ඉන්නෙ? මොනවා බලාපොරොත්තුවෙන්ද ඔයා එයත් එක්ක ඉන්නෙ කියන ප්‍රශ්නය එයාලා ඔයාගෙන් අහන්න පුළුවන්. මේක ඔයාට වගේම ඔයාගෙ ආදරයටත් බලපානවා. මොකද ඔයා කියපු දෙයක් වුණාට ඔයා මේ ගැන ආයෙ ආයෙත් හිතන්න ගන්නවා. ඔයාලා දෙන්නා අතරෙ ගැටුම් ඇති වෙන්නත් මේක හේතුවක් වෙන්න පුළුවන්.

ප්‍රධානම දේ තමයි "එයා මගෙ type එකේ නෙමෙයි" කියන එක ඔයා වෙනත් අරමුණකින් කිව්වට ඔයාගෙ හිතට ඒ දේ කාවැදුනොත් ඔයා ඔයා ඒ දේ පිළිගන්නවා. අර කතාවක් තියෙනවනේ බොරුවක් වුණත් එකම විදිහට දිගටම කියනවානම් ඒක ඇත්තක් වෙනවා කියලා. මෙතනදි අදාල වෙන්නෙත් ඒ දේම තමයි. ඒ නිසා මේ වගේ දෙයක් නම් කවදාවත් යාළුවන්ට කියන්න යන්න එපා.


"මම තනියම ඉන්න කැමති නැති නිසා එකට ඉන්නවා"

මුළින්ම මේ කියන දේ පැහැදිලි කරගන්න. මෙතනදි කියන්නෙ ඔයාට එයා නැතුව තනියම ඉන්න බැහැ කියන එක නෙමේ. මෙතනදි කියන්නෙ ඔයා තනියෙන් ඉන්න ආස නැති නිසා එයත් එක්ක ඉන්නවා කියලා. ඒ කියන්නෙ මේකෙ අදහස වෙන්නෙ ඔයාගෙ හිතේ එයා ගැන ආදරයක් නැතත් ඔයා තනියම ඉන්න අකමැති නිසා ඔයාගෙ පාළුව මකාගන්න එයත් එක්ක ඉන්නවා කියන එක. මේ වගේ දෙයක් යාළුවොන්ට කියනවා කියන්නෙ ඔයා කරන බරපතල වැරැද්දක්. ඔයාගෙ ආදර සම්බන්ධෙ කිසිම හරයක් නෑ කියන එක තමයි ඔයා මෙතනදි කියන්නෙ.

ආදරය අවතක්සේරු කරනවා : ඔයාලා දෙන්නා පණ වගේ ආදරේ කරත් ඔයා මේ කියන කතාව නිසා ඔයාගෙ ආදරේ ඔයාම අවතක්සේරුවට ලක් කරගන්නවා. කිසිම හරයක් නැති සම්බන්ධයක් කියන දේ අනිත් අයට පෙන්වන්න මේක හේතු වෙනවා.

යාළුවන්ගෙ කනස්සල්ල : ඔයා තනියෙන් ඉන්න අකමැති නිසා එයත් එක්ක ඉන්නවා කියලා යාළුවන්ට කියන එකෙන් යාළුවො ඔයා ගැන දුක් වෙනවා. ඔයාට උපදෙස් දෙන්න පටන් ගන්නවා. ඒ උපදෙස් ඔයා ගැන හිතලා දෙන ඒවා වෙන්න පුළුවන්. ඒත් ඔයා ඇත්තටම එහෙම තනියම ඉන්න අකමැති නිසා එයත් එක්ක ඉන්න කෙනෙක් නෙමෙයි නම් ඔයාලගෙ සබඳතාවයට යාළුවො දෙන උපදෙස් බලපාන්න පුළුවන්. සබඳතාව නැති වෙන්න වුණත් ඒ දේ හේතුවෙන්න පුළුවන්.

ඔයා ඔයාවම හෑල්ලු කරගන්නවා : ඔයා මෙහෙම කියන එකෙන් ඔයා ඔයාවම හෑල්ලුවට ලක් කරගන්නවා. තනිකම මකාගන්න වෙන කොල්ලෙක්/කෙල්ලෙක්ගෙ ජීවිතයක් එක්ක සෙල්ලම් කරනවා වගේ හැගීමක් යාළුවන්ට ඇති වෙන්න පුළුවන්. එතකොට එයාලා ඔයා ගැන හිතන්නෙත් ඒ විදිහටම තමයි.


"එයා ලස්සන නිසා/Handsome නිසා මං එයත් එක්ක ඉන්නවා"

අපි ආදරේ කරන්නෙ අපිට ආකර්ෂණය වුණ කෙනෙක්ව, අපේ හිතට ලස්සනයි කියලා දැනුන කෙනාට අපි ආදරේ කරනවා. එක තමයි ඇත්ත. ඒත් ඒක ඔයාලගෙ ආදරේ පවතින්න හේතුවක් වෙන්න බැහැ. ලස්සන නිසා එයත් එක්ක ඉන්නවා කියන එකෙන් ඔයාලා අතර ඇත්තටම බැඳීමක් තිය‍ෙනවද කියන ප්‍රශ්නය මතුවෙනවා. ඔයා ආදරේ කරන කෙනා ලස්සන නිසා එයාට ආදරේ කරනවා කියලා කියන එකෙන් ඔයාට ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිදු වෙන්න පුළුවන්.

කායික ආකර්ෂණය : ඉතින් ඔයා මේ කතාවෙන් ඔයා ආදරේ කරන කෙනා ලස්සනයි කියලා පෙන්වන්න උත්සහ ගන්නවා වෙන්න පුළුවන්. හැබැයි ලස්සන විතරමද එයාට තියෙන්නෙ. එයාගෙ වෙන හොඳ ගතිගුණ මොනවත්ම නැද්ද? ඔයා එයාගෙ ලස්සන විතරක් උලුප්පලා පෙන්වන එකෙන් එයාගෙ අනෙක් ගුණාංග ඔයාට මඟහැරෙනවා. ඒ නිසා ඔයාගෙ හිතේ වගේම යාළුවන්ගෙ හිත් වලත් ඔයාගෙ සබඳතාව ගැන මැවෙන්නෙ වෙනස්ම රූපයක්.

කිසිම ගැඹුරක් නැති ආදරයක් : ඔයා එයාගෙ භෞතික ආකර්ෂණය නිසා එයත් එක්ක ඉන්නවා කියන එකෙන් ඔයාගෙ ආදරේ රැඳී පවතින්නෙ ලස්සන නිසා කියලා අනිත් අයට හැඟවෙනවා. එතනදි ඔයා ගැන වැරදි වැටහීමක් ඇති කරගන්නත් හේතු වෙනවා. ඒ වගේම ඔයා මේ කතාව ඔයා ආදරේ කරන කෙනාට කිව්වොත්, ඒ කියන්නෙ මං ඔයාට කැමති ඔයා ලස්සන නිසා කියලා එයාට කිව්වොත් එයා හැමවෙලාවකම උත්සහ කරනවා ඔයාට පෙන්න ලස්සනට ඉන්න. එයාගෙ ශරීර සෞඛ්‍ය ගැන පවා එයා හිතන් නැතුව ඉන්න පුළුවන්. ඒ නිසා මේ වගේ කතාවක් කියන්න එපා.

පෙනුම කියන දේ අපිට අද තිබ්බත් හෙට නැති වෙන්න පුළුවන්. ලස්සන කියන්නෙ ඒ වගේ දෙයක්. එයා ලස්සන නිසා ඔයා එයාට ආදරේ කරනවා කියන දේ ඔයාගෙ හිතට කා වැදුනොත් එයාගෙ ඒ ලස්සන ටිකෙන් ටික නැති වෙද්දි ඔයාට එයා ගැන තියෙන ආදරෙත් නැති වෙන්න ඉඩ තියෙනවා. අපි දෙයක් ඕනාවට වඩා කියද්දි අපිම ඒ දේ ඇත්ත කියලා පිළිගන්න උත්සහ කරනවා. අන්න ඒ නිසා තමයි එහෙම කියන්න එපා කියන්නෙ.


"අපි දෙන්නා වෙන් වෙනවා. ඒත් කාටවත්ම කියන්න එපා"

මේක බහුතරයක් දෙනා කරන ලොකුම වැරැද්දක්. හිතන්න ඔයාලා දෙන්නා ගැලපෙන්නෙ නැතුව ඉදලා වෙන් වෙන්න හිතාගෙන ඉන්නවනම්, වෙන් වෙන්න කලින් කවදාවත් ඔයාලා වෙන් වෙනවා කියලා කාටවත්ම කියන්න එපා. විවිධ හේතු තියෙන්න පුළුවන්.

එක හේතුවක් විදිහට ඔයාට එයත් එක්ක ක්ෂණිකව දැනුන තරහා නිසා "මම එයත් එක්ක වෙන් වෙනවා" කියලා යාළුවන්ට කිව්වාම එයාලා ඔයාට උපදෙස් දෙනවා. මොකද කරන්න ඕනෙ කියලා. ඔයා ආදරේ කරන කෙනාට එයාලා බනිනවා. හැබැයි ඔයා එහෙම කියන්නෙ ඔයාට ඇතිවුණ ක්ෂණික කෝපය නිසා, තරහා නැති වුණාම ඔයා එයාට කලින් වගේම ආදරේ කරනවා. ඒත් ඔයා යාළුවන්ට කියලා ඉවරයි ඔයාලා වෙන් වෙනවා කියලා. ඉතින් යාළුවන්ගෙ හිත් වල ඔයාලා දෙන්නා ගැන මැවෙන්නෙ වෙනස්ම රෑපයක්.

එයාගෙ කීර්තිනාමයට හානි කරනවා : ඔයාට දැණුන දුක නිසා මේ දේ කියන්න පුළුවන්. නමුත් යාළුවො ඔයාගෙ හිත හදන්න ඔයා ආදරේ කරන/කරපු කෙනාට බනින්න, එයාගෙ වැරදි කියන්න ඉඩ තියෙනවා. ඒත් ඔයාලා දෙන්නා ඇත්තටම වෙන් වුණේ නැත්නම් ඔයාගෙ යාළුවන්ට ඔයාට මුහුණ දෙන්න බැරි වෙනවා. මොකද ඔයා ආදරේ කරන කෙනාට ඔයා ඉස්සරහම එයාලා බැනලා තියෙන නිසා. මේක ඔයාලගෙ යාළුකමටත් බලපාන්න පුළුවන්. ඒ නිසා මේ වගේ දෙයක් කියන්න කලින් ඔයා ඔයාටම අවංක වෙන්න. වෙන් වෙනවා කියලා කියන්න කලින් දෙපාරක්, තුන්පාරක් නෙවෙයි ඊටත් වඩා හිතන්න. ඇත්තටම වෙන් වෙනවා නම් එයත් එක්ක කතාකරලා ඇත්තටම වෙන් වුණාට පස්සෙ යාළුවන්ට කියන්න. මොකද යාළුවන්ට කියන්න එයාලා ඔයාගෙ හිත හදන්න අනිවාර්යෙන්ම ඉන්නවා.

ඔයා කලින් දෙපාරක් තුන්පාරක් වෙන් වෙනවා කියලා ආයෙ ආදරේ කරලා තියෙනවනම් ඇත්තටම ඔයාලා වෙන් වුණත් යාළුවො දකින්නෙ ආයෙ ඔයාලා ආපහු යාළු වෙයි කියලා. එතකොට එයාලා ඔයාට උපදෙස් දෙන්නෙත් ඒ විදිහට. සමහර වෙලාවට එයාලා ඔයාව විහිළුවකට ගන්න පවා ඉඩ තියෙනවා. උඹලා වෙන් වුණා කිව්වට ආයෙ යාළුයිනේ කියලා එයාලා කියාවි. ඒ නිසා හරියටම මේ වගේ දෙයක් වෙන්න කලින් යාළුවන්ට කියන්න එපා.


ලිංගික තොරතුරු කියන්න එපා

මේක ඇතැම් අය කරන වැරැද්දක්. ආදරේ කරද්දි හෝ විවාහ ජීවිතේ තමන්ගෙ පෞද්ගලික දේවල් පවා යාළුවොන්ට කියනවා. මේක වැරදි දෙයක්. එයා මෙහෙම කරන්නයි ආස, එයා අරහෙම හොඳට කරනවා. ඒයාගෙ ඒ්වා මෙහෙමයි අරහෙමයි වගේ කතා කවදාවත් කියන්න යන්න එපා. මොකද යාළුවො වුණත් ඒ් දේවල් වලින් ඔයාලව මනින්න බලනවා. සංස්කෘතිය නිසා කියන්න එපා කියලා කියනවා නෙවෙයි. ආදරේ කරද්දි ලිංගිකත්වය කියන දේ සාමාන්‍යයි. දකුණු ආසියාතික රටවල් වල සංස්කෘතිය නිසා තමයි මේ දේවල් අමුතු දේවල්/ හොද නැති දේවල් විදිහට පෙන්වා දෙන්නෙ. නමුත් ආදරේදි ලිංගිකත්වය කියන දේ සාමාන්‍ය දෙයක්. නමුත් ලිංගිකත්වය අවශ්‍ය නිසා ආදරේ කරනවා නම් ඒ්ක වෙනම දෙයක් වගේම නොකළ යුතු දෙයක්. එහෙම ලිංගිකත්වය බලාපොරොත්තුවෙන් පමණක් ආදරේ කරන කෙනෙක්නම් අනිවාර්යෙන්ම මානසික වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබාගත යුතුයි.

කොහොම වුණත් ඔයාලගෙ ලිංගික ජීවිතය ගැන තොරතුරු යාළුවන්ට කවදාවත් කියන්න එපා. එහෙම නොකර ඉන්න වගබලා ගන්න.


නිතර අහන ප්‍රශ්න (FAQs)

ඇයි අපි දෙන්නා රණ්ඩු වෙන්නෙ නැහැ කියලා යාළුවන්ට කියන්න හොඳ නැත්තේ?

අදහස් මත නොගලපීම් නිසා රණ්ඩු වෙනවා කියන දේ සාමාන්‍යයි. ඒ නිසා ඔයාගෙ ආදරේට ව්‍යාජ පරිපූර්ණත්වයක් පෙන්වන්න එපා.

මං ආදරේ කරන කෙනාගෙ ගරුත්වයට හානි නොවන විදිහට යාළුවො එක්ක ආදරේ ගැන කතාකරන්නෙ කොහොමද?

යාළුවො එක්ක ඕනම දෙයක් බෙදාහදා ගද්දි, මේ දේ යාළුවො දැනගත්තොත් මං ආදරය කරන කෙනාට මොනවගේ දෙයක් හිතේවිද කියන දේ ගැන අවබෝධයෙන් දේවල් කියන්න.

මොන වගේ දේවල්ද යාළුවන්ට කියන්න හොඳ නැත්තෙ?

ඔයාලා දෙන්නා අතර තියෙන පුංචි පුංචි රණ්ඩු, මත ගැටුම්, වැරදි වැටහීම්, ඔයා එයා ගැන හිතාගෙන ඉන්න විදිහ, ලිංගික තොරතුරු යනාදිය ගැන කියන්න එපා.

අවසාන වශයෙන් ඔයාගෙ ආදරේ ගැන විස්තර, මතක සටහන් යාළුවො එක්ක බෙදාගන්න එක සාමාන්‍ය දෙයක්. ඒත් හැමදෙයක්ම කිවයුතු නැහැ. ඒකට සීමාවක් ඔයාම හදාගන්න. ඒ සීමාවෙන් එහාට දේවල් කියන්න යන්න එපා. සමහර තොරතුරු ඔයා ළඟ තියාගන්න එක ආරක්ෂිත වෙන්න පුළුවන්. යාළුවො හැමෝම එකවගේ නැහැ. පණවගේ ළගින් ඉන්න යාළුවො ඕනි තරම් ඉන්නවා. ඒ වගේම යාළුවො වගේ ළඟින් ඉදලා වැරැද්දක් හොයාගෙන යන අයත් ඉන්නවා. ඒ නිසා ආදරේ ගැන වගේම පෞද්ගලික දේවල් වුණත් කියද්දි බොහෝම ප්‍රවේසම් වෙන්න.

සාර්ථක ආදරයක්/ විවාහ ජීවිතයක් ගොඩනැගෙන්නෙ විශ්වාසය, සන්නිවේදනය, එකිනෙකාට දක්වන ගෞරවය යන කාරණා මත. ඒ නිසා ඔයා ආදරේ කරන කෙනාගෙ ගෞරවයට, විශ්වාසයට හානි කරන දේවල් කා සමඟවත් බෙදාගන්න එපා. නමුත් සමහර දේවල් තියෙනවා බෙදාගත යුතු, උදාහරණයක් විදිහට ආදරේදි ඔයාට කායික හා මානසික හිංසනයන් ඇති වෙනවානම්, ඔයා ඉන්නෙ දැඩි පීඩනයකින් නම්, එයාගෙන් වෙන්වෙන්න ඔයාට ඕන වුණත් එයා එහෙම කරන්න දෙන්නෙ නැත්නම් කොයිම වෙලාවකවත් ඒ දේවල් සඟවාගෙන ඉන්න එපා. අනිවාර්යෙන්ම කියන්න. මේ තියෙන දේවල් වලින් ඔයාගෙ ආදරේ සාර්ථක කරගන්න ගන්න පුළුවන් දේවල් ගන්න.

එහෙනම් හැමදාමත් ආදරෙන් ඉන්න...

මේ වගේ දේවල් තවත් කියවන්න කැමති නම් අපේ වෙබ් පිටුව හා සම්බන්ධ වෙන්න ඒ සඳහා ඔබගේ Email ලිපිනය ඇතුළත් කර Sign Up වෙන්න. මෙම ලිපි Email එකක් විදිහට ඔයා ලගටම ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලගෙ අදහස් පහළින් Comment කරලා යන්නත් අමතක කරන්න එපා.