අද කාලෙ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි රැකියාව සහ ආදරය/විවාහ ජීවිතය Balance කරගන්නෙ කොහොමද කියන එක. වර්තමානෙ ලංකාවෙ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක, එක රස්සාවක් කරත් ජීවත් වෙන්න අමාරු තත්ත්වයක් තමයි තියෙන්නෙ. ඉතින් තරුණ අය වගේම විවාහ ජීවිතය අලුතින් පටන් ගත්ත අය බොහෝමයක් කරන රැකියාවට අමතරව තවත් අර්ධකාලීන රැකියා කරන්න යොමු වෙලා තියෙනවා. ඒ වගේම කරන රැකියාවේ අති කාල සේවා වැඩි වශයෙන් වැඩ කරන්නත් යොමු වෙලා තියෙනවා. ඉතින් මේ නිසා බහුතරයක් දෙනාට තමන්ගේ ආදරය/ විවාහ ජිවිතය මඟ හැරෙනවා. තමන්ගේ ආදරය/ විවාහ ජීවිතය වෙනුවෙන් දවසේ පැය 24න් පැයක් දෙකක් හෝ වෙන් කරන්නට ඔවුන්ට නොහැකි වෙලා තියෙනවා.

ඉතින් අද අපි කතාකරන්නෙ අන්න ඒ අයට. තමන්ගෙ රැකියාව වගේම ආදරය/ විවාහ ජීවිතය Balance කරගන්නෙ කොහොමද කියලා අවබෝධ කරගන්න මේ ලිපියෙන් ඔයාට පුළුවන්.

අභියෝග තේරුම් ගන්න

රැකියාව සහ ආදරය/විවාහ ජීවිතය Balance කරද්දි අපිට විවිධ අභියෝග වලට මුහුණ දෙන්න සිදු වෙනවා. අන්න ඒ අභියෝග ගැන අපි දැනුවත් වෙලා ඉන්න එක වඩාත් සුදුසුයි. ඔයාට එන අභියෝග විදිහට,

  • කාලය කළමණාකරණය : ඔයා උදේ 8ට වැඩට යන්න 7ට විතර ගෙදරින් ගිහින් ආයෙ ගෙදර එන්නෙ රෑ 8ට විතර කියලා හිතුවොත් ඔයා ගෙදර ඇවිල්ලා කරන්නෙ කාලා නිදාගන්න එක නේද?. දවස පුරාවට මහන්සි වෙලා අපිට ඒ කාලෙ විතරයි නිදාගන්න තියෙන්නෙ කියලා තමයි ගොඩක් අය හිතාගෙන ඉන්නෙ. ඒත් අපිට එක දෙයක් අමතක වෙනවා. ඒ අපි වෙනුවෙන් කෙනෙක් බලාගෙන ඉන්නවා කියන එක. දරුවන් සිටිනවානම් ඔයා වෙනුවෙන් ඒ හැමෝම බලාගෙන ඉන්නවා. ඉතින් ඔයා ඒ අය වෙනුවෙනුත් දවසේ යම් කාලයක් වෙන් කරන්න ඕන. ඒ නිසා කාල කළමණාකරණය කරගන්න ඔයාට පුළුවන් වෙන්න ඕනෙ.
  • රැකියාවේ පීඩනය : අපි කරන රැකියාවල අපිට දැනෙන පීඩනය ගොඩක් වෙලාවට අපි පිට කරන්නෙ ගෙදරට ගියාම. ඔයාගෙ සහකරු/සහකාරිය මොනවා කිව්වත් ඔයාගෙ තියෙන පීඩනය එයාගෙන් පිට වෙන්න පුළුවන්. පුළුවන්නම්, ඔයාට තියෙන පීඩනය ගැන ඔයා ආදරය කරන කෙනා එක්ක කතාකරන්න. ඔයා ඉන්න ප්‍රශ්න එයාට කියන්න. එයාට ඒ ප්‍රශ්න කියන්නෙ එයාගෙන් විසඳුම් ගන්න බලාගෙන නම් නෙමේ. ඔයාගෙ මනස සැහැල්ලු කරගන්න.
  • සන්නිවේදන දුර්වලතා : හිතන්න ඔයාගෙ කාර්යබහුල ජීවන රටාව නිසා ඔයාට එයත් එක්ක කතාකරන්න වෙලාවක් හම්බවෙන්නෙ නෑ. එතකොට ඔයාලා දෙන්නා අතරෙ වැරදි වැටහීම් ඇති වෙන්න පුළුවන්. සැකය ගොඩනැගෙනන් පුළුවන්. ඒ නිසා දෙදෙනා අතර ඇතිවෙන කතාබහ ඉතාම වැදගත්. රහස් තියාගන්න එපා හැම දෙයක් ගැනම විවෘතව කතාකරන්න.
  • විවිධ ප්‍රමුඛතා : ඔයාගෙ රැකියාව සහ නිවස නැතිනම් ආදරය අතර විවිධ ප්‍රමුඛ රාජකාරි ඇති වෙන්න පුළුවන්. ඔයා ප්‍රමුඛත්වය දෙන්නෙ රාජකාරී වැඩවලට පමණක් නම් ආදරයෙ/ විවාහ ජීවිතයේ ගැටළු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ දෙක Balance කරගන්න ඔයාට පුළුවන් වෙන්න ඕනෙ.

ප්‍රමුඛතාවය ලබා දෙන්නෙ මොනවාටද?

කලින් කිව්වා වගේම අපි මූලිකත්වය ලබා දෙන දේ අනුව අනිත් දේවල් අපිට මඟහැරෙන්න පුළුවන්. ඒ නිසා හැමදෙයකටම පුළුවන් ආකාරයෙන් කාලය වැය කරන්න ඔයාට පුළුවන් වෙන්න ඕනෙ.

  • රාත්‍රී කාලය වෙන් කරන්න : අපි රැකියාවන් සඳහා කාලය වෙන් කරලා අපිට රාත්‍රී කාලය විතරයි අපි වෙනුවෙන් ඉතුරු වෙන්නෙ. අන්න ඒ කාලෙන් ඔයාට පුළුවන්නම් ඔයාගෙ ආදරේ/විවාහ ජීවිතේ වෙනුවෙන් වෙන් කරන්න. ගොඩක් අය කරන දෙයක් තමයි රැකියාවට ගිහින් ආවට පස්සෙ සමාජ ආශ්‍රයට යොමු වෙනවා. කෙලින්ම කිව්වොත් යාළුවො එක්ක විනෝද වෙනවා තියෙන පීඩනය බෝතලෙන් පිටකරනවා. ඒ වගේම ඔයා ආදරේ කරන අය වෙනුවෙනුත් ඔයාට කාලය වෙන් කරන්න සිද්ධ වෙනවා. එහෙම නැතිනම් විවිධ ප්‍රශ්න වලට ඔයාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
  • Phone එක පැත්තකින් තියන්න : මේක නම් ගොඩක් අය කරන ලොකුම වැරැද්දක්. තමන් ආදරය කරන අය එක්ක ඉන්න ඕනෙ කාලෙ Phone එකේ ඉන්නවා. සමාජ මාධ්‍යවල සැරිසරනවා. මතක තියාගන්න ඔයා කතාකරන්න එනකන් බලන් ඉන්න අය ඉන්නවා. ඒ නිසා ඒ අය වෙනුවෙන් කාලය වෙන් කරන්න. දවසේ සිද්ධ වුණ දේවල් කතාකරන්න. එකිනෙකා අතර විශ්වාසය ගොඩනගන්න මේ කාලය අවස්ථාවක් කරගන්න. ආදරය කරන අයනම් Phone එකේ ඉන්න එක සාමාන්‍ය දෙයක් මොකද එයාලා කතාකරන්නෙ ඒකෙන් නිසා. නමුත් ඒ කතාකරන්න තියෙන වෙලාව වෙන වැඩ වලට යොමු කරන්න එපා.
  • එක්ව විනෝද වෙන්න : ගොඩක් අයගෙ ආදර සබඳතා වගේම විවාහ ජිවිත පළුදු වෙන්න එක කාරණයක් තමා සතුට නොමැති කම. සති අන්ත දින ඔයා ආදරය කරන අය වෙනුවන් කාලය වෙන් කරන්න. ඇවිඳින්න යන්න, විනෝද වෙන්න, අලුත් මතක ජීවිතයට එකතු කරගන්න. කවදාහරි ඉතුරු වෙන්නෙ අන්න ඒ ලස්සන මතක විතරයි.

සන්නිවේදනය ඉතාම වැදගත්

ඕනම සබඳතාවක කොඳුනාරටිය වෙන්නෙ සන්නිවේදනය. ඒ කියන්නෙ කතාකරන එක. කතානොකර ඔයාට සබඳතාවක් ඉස්සරහට ගෙනියන්න බැහැ.

  • දවසේ සිදු වුණ දේවල් බෙදාගන්න : කලින් කිව්වා වගේම රාත්‍රී කාලය ඔයා ආදරය කරන අය වෙනුවෙන් වෙන් කරන්න. ඒ කාලේ, දවසේ වෙච්ච දේවල් ඔයාලා කතාකරන්න. ඔයාට හිතෙන්න පුළුවන්, අපෝ ඒවා ඉතින් වැඩක් නෑනේ, මොකටද ආයෙ ඒවා කතාකරන්නෙ කියලා. ඒත් ඒ දේවල් වලින් වුණත් ඔයාලා දෙන්නා අතරෙ තියෙන බැඳීම ශක්තිමත් වෙන්න පුළුවන්. එයාගෙනුත් අහන්න අද දවසෙ මොකද කළේ කියලා.
  • ඔයාගෙ හැඟීම් ප්‍රකාශ කරන්න : සමහර වෙලාවට ඔයාලගෙ අදහස් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලට දැනෙන හැඟීම් වගේම ඔයාලගෙ ආශාවන් ප්‍රකාශ කරන්න. එයා ඉස්සරහා ඔයා විවෘත වෙන්න. එයාට ඕන දේවල් මං දන්නවනේ කියලා හිතාගෙන ඉන්න එපා. එයාගෙන් අහන්න එයාට ඕනෙ මොනවද කියලා. ඔයාට ඕන දේවලුත් එයාට කියන්න. එතකොට ඔයාලා අදර තියෙන බැඳීම ශක්තිමත් වෙනවා වගේම දෙදෙනා ගැන තියෙන අවබෝධයත් වැඩි‍වෙන්න හේතු වෙනවා.
  • අවධානය දෙන්න : එයා ඔයාට මොනාහරි දෙයක් ගැන කියද්දි ඒ දේවල් වලට අවධානය දෙන්න. ගණන් ගන්නෙ නැතුව ඉන්න එපා. එයා කියන දේවල් වැඩක් නෑ කියලා හිතන්නත් එපා. එයා කියන දේවල් ඔයාට අහන් ඉන්න බැරි වුණත් ඔයා අහන් ඉන්නවා කියලා හරි අඟවන්න. ඔයා එයාට අවධානය ලබා දෙන එක ඉතාම වැදගත්.

රැකියාව සහ නිවස/ ආදරය අතර මායිම්

මේ කාලෙ ගොඩක් අය නිවසේ සිට වැඩ කිරීම එහෙමත් නැත්නම් Work from Home සිදු කරනවා. ඇතැම් අයට හිතෙන්න පුළුවන් ඉතින් එයාලා ගෙදරනෙ ඉන්නෙ එයාලට ආදරය කරන අය වෙනුවෙන් කාලය වෙන් කරන්න පුළුවන් නේද කියලා. ඒක වැරදියි. මොකද අපි රැකියාවට ගියාම එතනදි අපිට දැනෙන පීඩනය අපි ගෙදර එද්දි අමතක කරලා එනවා. ඒ වගේම ගෙදර ආවාට පස්සෙ අපි රැකියාව ගැන ලොකු අවධානයක් යොමු කරන්නෙ නැහැ. නමුත් මේක ඊට හාත්පසින්ම වෙනස්. ගෙදර ඉදන් වැඩ කරනවා කියන්නෙ ඔයාට දැනෙන පීඩනය ඔයා එවෙලෙම පිට කරන්නෙ පවුලෙ අය ඉස්සරහා. ඒ වගේම දවසේ වැඩි කාලයක් ඔයා යොමු කරන්නෙ රැකියාව සඳහා, එතකොට ඔයා නොදැනුවත්වම ඔයාට ඔයා ආදරය කරන අය මඟහැරෙනවා.

  • වැඩ කරන වෙලාවන් ගැන අවබෝධ කරගන්න : ඔයා වැඩට යන එන කෙනෙක් නම් රැකියාවේ රාජකාරීන් කිසිම වෙලාවක ගෙදරට ගෙන්න එපා. මොකද ගෙදර ඉන්න වෙලාව ඔයා ආදරය කරන අය වෙනුවෙන් වෙන් කරන්න. ඒ වගේම ඔයා නිවසේ ඉදන් රාජකාරී කටයුතු වන නියැලෙන කෙනෙක් නම් ඒ සඳහා වෙන් වුණ තැනක් හදාගන්න. වැඩ කරන වෙලාව එතැනත්, ඉතුරු කාලය ආදරය කරන අය සමඟත් ගත කරන්න.
  • විවේක ගන්න : සමහර රැකියා අධික පීඩනයන්ගෙන් යුක්තයි. ඒ නිසා පුළුවන් අයුරින් විවේක කාලයක් ලබාගන්න. ඒක ඔයාගෙ මනස නිදහස් කරගන්නත් තියෙන පීඩනයෙන් නිදහස් වෙන්නත් උපකාරී වේවි.

එකිනෙකාගේ ඉලක්ක වලට සහය වන්න

අපි ආදරය කරාම හරි විවාහ වුණාම හරි දෙදෙනාගේ ඉලක්ක බලාපොරොත්තු එක හා සමාන වෙන්නෙ නැහැ. විවිධ බලාපොරොත්තු තියෙන්න පුළුවන්. ඒ වගේම ඔයා ආදරය කරන අයගෙ බලාපොරොත්තු හා ආශාවන් අවතක්සේරු කරන්න එපා.

  • ජයග්‍රහණ සමරන්න : ලොකු ජයග්‍රහණ, පොඩි ජයග්‍රහණ කියලා දේවල් නෑ. තියෙන්නෙ ජයග්‍රහණයක් විතරයි. ඒ නිසා එකිනෙකාගේ උත්සාහයන්, ජයග්‍රහණ, සාර්ථකත්වයන් එකතු වෙලා සමරන්න. ආදරය කරන අයව පහත හෙලන්න එපා කියලා කියන්නෙ මෙන්න මේ නිසා. මම තමයි ඉහළ තැනක ඉන්නෙ මගෙ ජයග්‍රහණ විතරයි සමරන්න ඕනෙ කියන අධි මාන්නයක ඉන්න එපා.
  • කාර්යබහුල අවස්ථාවන් : රාජකාරී වැඩ නිසා අපි කාර්ය බහුල වෙන්න පුළුවන්. එ් වගේම සමහර වැඩ අපි ඒ දිනවලට අවසන් කළ යුතු නිසා පීඩනය අධික වෙන්න පුළුවන්. ඒ වෙලාවට ඔයාගෙ සහකරු හෝ සහකාරියට ඔයා ඉන්න තත්ත්වය ගැන කියන්න. එයාගෙන් ඒ සඳහා උපකාර ඉල්ලන්න. උපකාර ඉල්ලන්න කියන්නෙ එයාට උදව් කරන්න කියන එක නෙමේ. ඔයා ඉන්න තත්ත්වය ගැන එයාව අවබෝධයක් ලබාදෙන්න.
  • එකිනෙකාට ශක්තියක් වෙන්න : අපි එක හා සමාන අදහස් බලාපොරොත්තු තියෙන අය නෙමේ. ඔයා රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔයාගේ බිරිඳ හෝ ආදරවන්තිය නිවසේ කාලය ගත කරන කෙනෙක් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් තවමත් වැඩි දුර අධ්‍යාපනය ලබන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාගෙ සහකරු හෝ සහකාරියට එයාලගෙ ඉලක්ක හා බලාපොරොත්තු වලට යන්න හයියක් වෙන්න.
  • එකිනෙකාගේ අවශ්‍යතාවයන්ට ගරු කරන්න : ඔයාට වගේම ඔයාගෙ සහකරු/සහකාරියට එක හා සමාන අවශ්‍යතා මතු වෙන්නෙ නැහැ. ඒ නිසා ඔයාගෙ සහකරු/සහකාරියට තියෙන අවශ්‍යතාවයන්ට ගරු කරන්න පුරුදු වෙන්න. ඒ කියන්නෙ ඔයාගෙ අවශ්‍යතාවයන්ට මූලිකත්වය දීලා අනිත් කෙනාගෙ අවශ්‍යතා අවශ්‍ය නොවන දේවල් විදිහට දකින්න එපා. එයාලගෙ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න උදව් කරන්න.

ඔයාට හිතෙන්න පුළුවන් මේ කියන කාරණා කොහොමද රැකියාව හා ආදරය/විවාහ ජිවිතය Balance කරගන්න උදව් වෙන්නෙ කියලා. කලින් අපි කතාකරා නේද අපි යම් කාලයක් වෙන් කරන්න ඕන කියලා අන්න ඒ කාලෙදි ඔයා මේ දේවල් ගැන අවධානය යොමු කරන්න ඕනෙ. අපි රැකියාවන් කරද්දි අපිට මඟහැරෙන දේවල් අතර මේ දේවල් අනිවාර්යෙන්ම තියෙනවා.

එක්ව ආතතිය කළමණාකරණය කරන්න

පීඩනය/ආතතිය අපිට නවත්වන්න බැහැ. ඒත් ඔයා ඒක හසුරුවන ආකාරයෙන් ඔයාගෙ සබඳතාවයේ විශාල වෙනසක් ඇතිකරගන්න ඔයාට පුළුවන්. ඔයා ආදරය කරන කෙනෙක් නම්, ආතතියෙන් ඉන්න අවස්ථාවේ/ එහෙමත් නැතිනම් පීඩනයෙන් ඉන්න අවස්ථාවේ ආදරය කරන කෙනා එක්ක කතාකරද්දි ඔයාට හිතෙනවනම් මට තරහා යයි, පාලනය කරගන්න බැරි වෙයි කියලා එහෙනම් කතානොකර ඉන්න. ඔයා ඉන්න පීඩනයෙන් නිදහස් වෙන්න ටික වෙලාවක් ගන්න. ඊට පස්සෙ ඔයා කතාකරන්න. මොකද ඔයා ආතතියකින්/ පීඩනයකින් ඉද්දි කතාකරාට එයා කියන දේවල් වලින් ඔයාගෙ ඔළුවට යන ප්‍රමාණය අඩුයි. ඒ වගේම ඔයා සහකරු/සහකාරිය වෙත අවධානය යොමු කරන ප්‍රමාණයත් අඩුයි. මේ නිසා පීඩනයෙන් ඉන්න අවස්ථාවක කතාකරන්න එපා. ඒ පීඩනයෙන් එළියට එන්න උත්සහ කරන්න. ඔයාට තනියම ඒ දේ කරගන්න බැරි නම් ඔයාගෙ සහකරු/සහකාරියට ඒ ගැන කියන්න. ඔයා ඉන්න තත්ත්වය ගැන පැහැදිලි කරලා ඔයාට උපකාර වෙන්න කියන්න. ඇයගේ/ඔහුගේ උදව් ඇතිව ඔයාට තියෙන පීඩනයෙන් නිදහස් වෙන්න ඔයාට පුළුවන්.

ඔබ වෙනුවෙන් කාලය ගත කරන්න

දෙදෙනාම එකට කාලය ගත කිරීම වැදගත් වනවා වගේම ඔයා ඔයා වෙනුවෙන් කාලය ගත කිරීමත් ඉතා වැදගත්. මොකද රැකියාව සහ ආදරය කරන අය අතරෙ ඔයාගෙ කාලය දෝලනය වෙද්දි ඔයාට ඔයාව මඟහැරෙනවා. අන්තිමට ඔයා ආස දේවල්, ඔයාට අවශ්‍ය දේවල් පවා ඔයාට මඟහැරෙනවා. ඒ නිසා ඔයා වෙනුවෙනුත් පුංචි කාලයක් වෙන් කරගන්න.

  • විනෝදාංශයක් තෝරගන්න : කාර්යබහුලත්වයත් එක්ක ගොඩක් අයට මේක අමාරු වෙයි. විනෝදාංශයක් කිව්වාම ගොඩක් කාලය වැය කරන්න ඕනෙ නේද කියලා හිතේවි. එහෙම දෙයක් නෑ. ඔයාට තියෙන්නෙ විනාඩි 10ද 30ද වෙලාව කොච්චරක් උනත් ඒ කාලෙ විනෝදාංශයක් වෙනුවෙන් කාලය වැය කරන්න පුළුවන්.
  • විවේක ගන්න : අපි කාලය වැය කරාම අපිට විවේකයක් නෑ. උදාහරණයක් විදිහට උදේම නැගිටලා වැඩට ගිහින් රෑ වෙලා ගෙදර ආවට පස්සෙ බිරිඳ හෝ ආදරවන්තිය එක්ක කතාකරලා නිදාගන්න යනවා. ඔයා දවසේ පැය 24න් නිදාගන්න පැය කිහිපය හැරුණු විට අනිත් හැම වෙලාවකම මොකක්හරි වැඩක් කරන ගමන් ඉන්නෙ. ඔයාගෙ මනසට කිසිම විවේකයක් ලැබෙන්නෙ නැහැ. මෙතනදි කියන්නෙ ඔයාට විවේක ගන්න කියලා. පොඩි වෙලාවක් වෙන් කරන්න. ඔයාට ඔයා ගැනත් හිතන්න වෙනවා. ඔයාගෙ ශරීර සෞඛ්‍ය ගැනත් ඔයාට හිතන්න වෙනවා. ඒ නිසා පොඩි කාලයක් විවේක ගන්න වෙන් කරගන්න.

ආදර හැඟීම් දිගටම තියාගන්න

අපිට තියෙන රාජකාරීන්/ කාර්යබහුල වීම නිසා අපි තුළ තියෙන ආදර හැඟිම් අපෙන් ඈත් වෙලා යනවා. සිප වැළඳ ගැනීම්, ආදරණීය වදන් වගේ පොඩි පොඩි දේවල් වුණත් අපෙන් ඈත් වෙනවා. මොකද අපි හිතන දේ වෙනයි. ඒ නිසා ඔයාගෙ ආදරණීය හැඟීම් නැති වෙන්න ඉඩ තියන්න එපා.

  • එයාව ස්ප්‍රයිස් කරන්න : සල්ලි ගොඩාක් වියදම් කරලා මහා පරිමාණයෙන් ස්ප්‍රයිස් කරන්න කියලා නෙමෙයි මේ කියන්නෙ. පුංචි පුංචි දේවල් කරන්න. එයා ආස දෙයක් කියන්නෙ නැතුව ගෙනත් දෙන්න. ඒ වගේ පුංචි පුංචි දේවල් වලින් ලැබෙන සතුට කියලා නිම කරන්න බෑ.
  • ඔයාගෙ ආදරේ එයාට පෙන්වන්න : ඔයා එයාට කොච්චර ආදරෙයිද කියලා එයාට පෙන්වන්න. දැනෙන්න ඉඩ හරින්න. වැළඳගැනීම්, සිපගැනීම්, ආදරණීය වචන වලින් ඔයාට පුළුවන් ආදරේ පෙන්වන්න.

වෘත්තීය සහය පතන්න

ඔයාට ඔයා කරන රැකියාව සහ සාමාන්‍ය ජීවිතය Balance කරන්න අමාරුයි නම් හරි ඔයා මේ දෙක අතර දැඩි පීඩනයකින් හෝ ආතතියකින් ඉන්නවනම් හරි අනිවාර්යෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න. ඒ වගේම ඔයාට ආදර/විවාහ ජීවිතේ ප්‍රශ්න ඇති වෙලා තියෙනවනම් හෝ ඔයාගෙ මනසට දැඩි පීඩනයක් දැනෙනවනම් අනිවාර්යෙන්ම ඔයා වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුමයි. මොකද ඔයාට ශාරීරිකව වගේම මානසික සුවයත් වෛද්‍ය ප්‍රතිකාර තුළින් ලබා ගන්න පුළුවන්.

ඒ වගේම ඔයාලා දෙන්නා අතරේ තිබුණ ආදරය/බැඳීම කාර්යබහුලත්වය නිසා බිඳ වැටිලා තියෙනවනම් හෝ ඔයාලා දෙන්නා අතරෙ නිතර නිතර ප්‍රශ්න ගැටළු මතු වෙනවනම් ඔයාලා දෙදෙනාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නවනම් හොඳයි. බය වෙන්න එපා. මානසික වෛද්‍යවරයෙක් ළඟට යන්න. එයාලා ඔයාලට උපදෙස් දේවි සාමාන්‍ය විදිහට ආයෙත් ජීවිතය පටන් ගන්නෙ කොහොමද කියලා. රැකියාවෙන් ඔයාට දරාගත නොහැකි තරම් පීඩනයක් එල්ල වනවානම්, ආදරය/විවාහ ජීවිතය තුළිනුත් ඔබට දරාගත නොහැකි තරම් පීඩනයක් එල්ල වනවා නම් ඔයා ගන්න ඕන සුදුසුම සහ හොඳම පියවර මානසික වෛද්‍යවරයෙක් හමුවට යාම. මතක තියාගන්න මූලිකම දේ ඔයාගේ කායික හා මානසික සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන එක.

එක්ව සැලසුම් හදන්න

ඔයා රැකියාවක් කරන කෙනෙක් නම් ඔයාට බලාපොරොත්තු සහ අධිෂ්ඨාන ඇති, ඔයා ඒ දේවල් සාක්ෂාත් කරගන්න වැඩ කරනවා වෙන්න ඇති. ඒත් ඒ අරමුණු සහ අධිෂ්ඨාන ඔයා ආදරය කරන කෙනා හෝ බිරිඳ එක්ක සාකච්ඡා කරන්න දෙදෙනාගේම අරමුණු හා බලාපොරොත්තු මත ඉදිරිය ගැන හිතන්න.

උදාහරණයක් විදිහට ඔයාලා දෙන්නා තාම ආදරය කරනවා නම් ඔයාලගෙ බලාපොරොත්තු කෙටි කාලීන හා දීර්ඝ කාලීන විදිහට වෙන් කරගන්න. ඔයාලා දෙන්නා ඒ බලාපොරොත්තු සාක්ෂාත් කරගන්න එකට එකතු වෙලා වැඩ කරන්න. මම තනියෙන් කරගන්නවා කියලා හිතන්න එපා. එහෙම කරන්න අමාරුයි. මොකද අපිට උදව් අවශ්‍යයි. වෙඩින් එක ගන්න, නිවසක් හදාගන්න, විදෙස් රටක සංචාරයක් යන්න වගේ බලාපොරොත්තු වෙනුවෙන් දෙදෙනා එකට වැඩ කරන්න.

  • අය වැය වාර්තාවක් හදාගන්න : අපි ගොඩක් අයට වැරදෙන තැනක් තමයි මේක. වියදම් වැඩියි නමුත් ආදායම අඩුයි. ඉතින් තියෙන වියදම් සඳහා මුදල් හොයාගන්න අපි තව තවත් මහන්සි වෙනවා. එතකොට අපිට අපිවම මඟ හැරෙනවා. මෙතනදි කියන්නෙ ඔයාලා දෙන්නට ලැබෙන ආදායම මත ඔයාලගෙ වියදම් සකසා ගන්න කියලා. පුංචි කැපකිරීමක් කරන්න වෙනවා. ඔයාලා දෙන්නා වෙනුවෙන් ඒ කැපකිරීම කරන්න ඔයාලට පුළුවන් වෙන්න ඕන. මේ දෙයින් ඔයාට මූල්‍ය අතින් ලැබෙන පීඩනය ටිකක් හෝ අඩු කරගන්න පුළුවන් වේවි.

අවසාන වශයෙන් රැකියාව සහ ආදරය/විවාහ ජීවිතය Balance කරන්න උත්සාහය, එකිනෙකා අතර තියෙන අවබෝධය, ඉවසීම සහ කැපවීම කියන කාරණා අත්‍යවශ්‍යයි. මූලිකම කාරණාව වෙන්නෙ සන්නිවේදනය ඒ කියන්නෙ දෙදෙනා කතාබහ කිරීම. හැම දෙයක්ම පටන් ගන්නෙත් එතනින් ඒ වගේම හැම ප්‍රශ්නෙකටම විසඳුම් තියෙන්නෙත් එතනින්. ඒ නිසා මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. එත තැනකදි පීඩනය නිසා ඔයාට හිතුනොත් දැන් ඇති කියලා, අනිවාර්යෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න පසුබට වෙන්න එපා. අනිත් අය වෙනුවෙන් කැප වෙන්න කලින් ඔයා ඔයා ගැනත් පොඩ්ඩක් හිතන්න. අද කාලෙ ගොඩක් පිරිමි ළමයි තමන්ගෙ ඔළුවට වගකීම් වල බර වැටුනාම නොකරන දෙයක් තමයි තමන් වෙනුවෙන් වැඩ කරන එක. එයාලා අනිත් අය ගැන හිතලා තමන්ව අමතක කරගන්නවා. එහෙම කරන්න එපා. ඒ නිසා මේ කරුණු ගැන හිතන්න. ඔයාට ගන්න දෙයක් තියෙනවනම් ගන්න. සාර්ථකව රැකියාව සහ ආදරය/විවාහ ජීවිතය Balance කරගෙන ලස්සනට ජීවත් වෙන්න.

සුබ පැතුම්..!

මේ වගේ දේවල් තවත් කියවන්න කැමති නම් අපේ වෙබ් පිටුව හා සම්බන්ධ වෙන්න ඒ සඳහා ඔබගේ Email ලිපිනය ඇතුළත් කර Sign Up වෙන්න. මෙම ලිපි Email එකක් විදිහට ඔයා ලගටම ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලගෙ අදහස් පහළින් Comment කරලා යන්නත් අමතක කරන්න එපා.